අගමැති ධුරයෙන් රනිල් ඉවත්වීමට කිසිදු හේතුවක් ඇත්තේ නැහැ

  👤  3949 readers have read this article !
By mawbima 2018-02-21

ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුත්තේ සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම, ධුර කාලය අවසන් වීම හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීම යන ප්‍රතිපාදන යටතේ පමණක් බවත්, ආණ්ඩුවක් ඉල්ලා අස්වීමට නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ විසර්ජන පනතක් පාර්ලිමේන්තුවේ පරාජය විය යුතු බවත්, එවැන්නක් සිදුවී නොමැති නිසා අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට කිසිදු නෛතික හේතුවක් නොමැති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ජනාධිපතිවරණයක්ද, අගමැතිවරයෙක් ඇතුළු රජයක් තෝරා පත්කර ගැනීමට මහ මැතිවරණයක්ද, පළාත් සභා තෝරා ගැනීමට පළාත් සභා මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබියදී පළාත් පාලන මැතිවරණයක් හේතු කරගෙන ධුර කාලය අවසන් වීමට ප්‍රථම අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියන අයගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කළ යුත්තේ ජාතික දේශපාලනයට සිදුවන විනාශය වළක්වා ගැනීමට බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණවලදී මධ්‍යම රජයේ ආණ්ඩු පක්‍ෂය අන්ත පරාජයට පත්වන අවස්ථා අපමණ ඇතත් එය ආණ්ඩු
පක්‍ෂයට හෝ අගමැතිවරයාගේ තනතුරට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව සඳහන් කරන ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයා නිදහස ලබා ගතවූ වසර 70ක කාලසීමාව තුළ බල අරගලයක් සඳහා දේශපාලන වශයෙන් මෙසේ රට අස්ථාවරවූ අවස්ථාවක් ගැන අසන්නට නොලැබෙන බවත් පවසයි.
කොළඹදී පෙරේදා (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ මහාචාර්යවරයා, 2015 පැවැති මැතිවරණ දෙකේදී දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් යහපාලන රජය ඒවා ඉටු නොකිරීම නිසා අනතුරු හැඟවීමට දැල්වූ රතු එළියක් ලෙස පළාත් පාලන මැතිවරණය සැලකිය හැකි බවත් සඳහන් කළේය.

පුරසිංහ මහතා එහිදී මෙසේද ප්‍රකාශ
කෙළේය. යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ ඉටුකළේ නැහැ. හොරුන්ට දූෂිතයන්ට දඬුවම් කරනවා කීවා කළේ නැහැ. මේ පාර්ශ්ව දෙකම ආණ්ඩුවේ කොටස්කාරයෝ. ඒ පාර්ශ්ව දෙකම එම සම්මුතිය කඩකර තිබෙනවා. ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් ඇඟිල්ල දිගු කරන්න බැහැ. මෙම දෙපාර්ශ්වයම එහි වගකීම භාරගත යුතුයි. එජාපයට එල්ලවූ බැඳුම්කර වංචා චෝදනාව සුළු පටු කොට හිතන්න බැහැ. අඩුවෙන්ම හොරු ඉන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ. නමුත් පසුගිය කාලයේ සිටි හොරු දූෂිතයෝ අදත් යහතින් ඉන්නවා.

මේ මැතිවරණ ප්‍රතිඵලය නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පොහොට්ටු
පක්‍ෂය කියනවා. ව්‍යවස්ථාවේ කොහේද එහෙම තියෙන්නේ. මහින්ද රාජපක්‍ෂ මේ රටේ ව්‍යවස්ථාවටත් අභියෝග කිරීම බරපතළ ලෙස භයානක තත්ත්වයක්. සුදු වෑන් සංස්කෘතිය, කැලෑ නීතිය රජකරවන්නටයි මේ හොරු, වංචනිකයෝ උත්සාහ කරන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අපි මේ දෙපාර්ශ්වයට කියන්නේ මේ බල අරගලය නතර කර එකට එක්වී යහපාලන රජය ඉදිරියට ගෙනයන්න කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඉන්න බැරි නම් ඉවත් වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඇමැති මණ්ඩලය 30ට සීමා කරලා තනිව ආණ්ඩුවක් 2020 වනතුරු ගෙන යන්න පුළුවන්. නමුත් ගතවූ වසර තුන තුළ ඉටුකිරීමට නොහැකි පොරොන්දු ඉටු කරන්න ඕන. හොරු, දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන. ජනතාවට සහන සලසා දෙන්න ඕන. ගොවීන්ට පොහොර ටික කලට වේලාවට ලබාදී ඔවුන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා දෙන්න ඕන. මේ සියලු දේ කරන්න ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි.

 උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon