ඔලිම්පික් ආණ්ඩු බලය ටෙනිස් පිටියට යයිද ?

  👤  3775 readers have read this article !
By mawbima 2018-02-21

සිරිනාම රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී.) අදාළ නිලවරණය වසර 4කට වරක් පැවැත්වීමට නියමිතව තිබුණද ඊට බලපෑ විවිධ හේතූන් මත එම නිලවරණය 2009 වසරින් පසුව පැවැත්වීමට නොහැකි විය. ඒ නිසාම එන්.ඕ.සී.යේ සාමාජිකත්වය දරන ක්‍රීඩා සංගම් නිලවරණයක පහස විඳගැනීමේ පිපාසයෙන්ම පෙළෙන බැවින් ලබන සිකුරාදා (23දා) ට පැවැත්වීමට නියමිත එන්.ඕ.සී. නිලවරණය පෙර කවරදාකටත් වඩා උණුසුම් ස්වරූපයක් ගෙන ඇත.

තවද මෙවර නිලවරණය වඩාත් සටන්කාමී බවක් මුසුවූ උණුසුම් ස්වරූපයක් ගෙන ඇත්තේ එසේ වසර 9කට පසුව සාමාජිකත්වයට තම පාලකයන් තෝරාගැනීම සඳහා ලැබී ඇති අනගි අවස්ථාවක් පමණක් නිසාම නොව වසර 20ක කාලයක් සභාපති තනතුර දැරූ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවට නව සභාපතිවරයකුට එම අසුන හිමිවීමට ලද අවස්ථාවක්ද නිසාය. ඒ අනුව සභාපති තනතුර සඳහා නිර්මාණය වී ඇති සටන මෙවර නිලවරණයේ විශේෂම අංගය ලෙස කාගේත් අවධානය යොමුවී ඇති අතර, මෙවර සභාපති සටනට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ වත්මන් උප සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතාද පැමිණ ඇත.

වර්තමානයේ එන්.ඕ.සී. යේ ප්‍රධාන ලේකම් ධුරය හොබවන මැක්ස්වෙල් ද සිල්වා මහතාද සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් ලේකම් තනතුරට පත්වීම සඳහා ඡන්ද සටනට පැමිණ ඇති අතර, ඊට විරුද්ධ පාර්ශ්වයෙන් සභාපති තනතුරට ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ වත්මන් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාය. කෙසේ වෙතත් අනුබද්ධිත සාමාජික සංගම් 31ක ඡන්දයෙන් මෙවර නිලවරණයේදී නව පාලකයන් තෝරා පත්කර ගැනීමට අවස්ථාව හිමිවන අතර, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපතිවරයකු වන මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් සභාපති තනතුර සඳහා ටෙනිස් සංගමයේ හිටපු තවත් සභාපතිවරයකුද වන සුබ්‍රමනියම් මහතා ඉදිරිපත්වීමත් විශේෂත්වයකි.

නමුත් සුබ්‍රමනියම් මහතා මෙවර නිලවණයට ඉදිරිපත් වෙමින් එන්.ඕ.සී. පරිපාලනයට කෝඩුකාරයකු සේ පෙනුණද ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලනයේ වපසරිය පිළිබඳව සලකා බැලූ විට ප්‍රවීණ පරිපාලකයකු බවට ඔහු සනාථ කර ඇත. එනම් 2002 වසරේ සිට 2007 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති තනතුර දරා ඇති සුබ්‍රමනියම් මහතා 2009-2012 වකවානුව තුළ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ජාතික තේරීම් කමිටුවේද කටයුතු කර ඇත. ඉන්පසුව 2003 සිට 2017 දක්වා ආසියානු ටෙනිස් සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා වත්මන් ආසියානු ටෙනිස් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදීය. එපමණක්ද නොව එලෙස ආසියානු රටවල් 45කට අදාළව ලේකම්වරයා ලෙස කටයුතු කළ සුබ්‍රමනියම් මහතා 2009-2014 වසර 6ක කාලයක් ජාත්‍යන්තර ටෙනිස් සම්මේලයේ පිරිමි කමිටුවේ සේවය කළ අතර, 2015 සිට මේ දක්වාම ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ කනිෂ්ඨ කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියන්ට අදාළ නීතිරීති සම්පාදනය කරන එකී ජාත්‍යන්තර ටෙනිස් කමිටුවේ සාමාජිකයකු දක්වා පැමිණීමත් සමඟ සුබ්‍රමනියම් මහතා රැස්කොට ඇති පරිපාලන දැනුම හා අත්දැකීම් මෙවර එන්.ඕ.සී. සභාපති තනතුරට ඔහුව කැඳවා ගන්නට ඔහුගේ පාර්ශ්වයේ සෙසු සගයන්ට හේතුවක් වන්නටද ඇත. තවද ස්‍රබ්‍රමනියම් මහතාගේ ජාතික ඔලිම්පික් කමිටු පරිපාලනයට ආගමනය ගැන ඔහුගෙන් කළ විමසීමකදී කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේදී මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයේ තමන් ලද පරිණත බව යොදා ගනිමින් එන්.ඕ.සී. ය පරිපාලනය හැසිරවීම පහසු කටයුත්තක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවට ජාත්‍යන්තරයේ ඉහළම අවධානයක් යොමු කරවන්නට සමත්වූ ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවේ පුරෝගාමියා වන්නේද සුබ්‍රමනියම් මහතා වීමද විශේෂත්වයකි. ඔහුගේ තනි කැමැත්තෙන්ම මෙරටට රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව හඳුන්වා දෙන්නට කටයුතු කළ ඒ මහතා "මම රෝද පුටු ටෙනිස් ලංකාවට හඳුන්වා දෙන මොහොතේ අපේ සංගමයේම බොහෝ දෙනා විරුද්ධ වුණා. නමුත් පැවැති යුද්ධයේදී අපේ රට වෙනුවෙන් ජීවිත කැප කළ රණවිරුවන්ට සේවයක් කරන්න ඕන කියන මතයේ මම හිටියා. අද අපේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෝ පස් දෙනෙක් ලෝකයේ හොඳම 100 අතර ඉන්නවා" යනුවෙන්ද පැවැසීය. ඒ බව සනාථ කරමින් පසුගියදා ලංකාවේදී නිමා වූ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම කේවල හා යුගල ශූරතා දෙකම දිනාගත්තේය. එවන් ටෙනිස් ලොව පරිපාලනය ජයගත් පාලකයකුගේ දායකත්වය රටේ ක්‍රීඩා පරිපාලනයට ආයෝජනය කළහොත් ක්‍රීඩාවේ ඵලදායීතාවට පිටිවහලක් වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon