එජාපයේ කැබිනට් පත්‍රිකා 3ක් මෛත්‍රි අත්හිටුවයි

  👤  4146 readers have read this article !
By mawbima 2018-02-21

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා තුනක්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.

වාර්තාවන අන්දමට එයින් එක් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කර තිබෙන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතායි. උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ පන්ති ගුරුවරුන් සඳහා රුපියල් කෝටි 500ක් වැය කර ටැබ් පරිගණක ලබාදීමට ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් කර තිබූ යෝජනාව අත්හිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මේ අතර මහනුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට ඉදිවන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජපානයේ කොන්ත්‍රාත් සමාගමකට පැවැරීමට කර තිබූ යෝජනාවක්ද අත්හිටුවා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධව වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි අදාළ ඇමැතිවරයාට නියම කර ඇත.
මීට අමතරව සිගරැට් දුම්කොළ වර්ගයක් තහනම් කිරීම සංචාරක ව්‍යාපාරයට තදින් බලපවත්වන්නක් බැවින් එම තහංචිය ලිහිල් කරන ලෙසට එජාප ඇමැතිවරයකු ඉදිරිපත් කළ යෝජනාවක්ද ජනාධිපතිවරයා විසින් අත්හිටුවූ බවද වාර්තා වේ.

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට පිහිටුවා ගත් ආර්ථික කමිටුවේ සිය වැනි රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබියදී එය ඊයේ හදිසියේම කල්දමා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon