කහගොල්ලේ දී බසයක් තුළ පුපුරා ගිය අත් බෝම්බය

  👤  3476 readers have read this article !
By mawbima 2018-02-22

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බසයක් තුළ ඊයේ (21දා) අත් බෝම්බයක් පුපුරා යෑමෙන් හමුදා සාමාජිකයන් 12 දෙනකු ඇතුළු පුද්ගලයන් 19 දෙනකු තුවාල ලබා දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ගමන් ගත් බසයක් තුළ මේ පිපිරීම ඊයේ අලුයම 5.30ට පමණ සිදුව ඇති අතර තුවාල ලැබූ 19 දෙනා අතර යුද හමුදා සාමාජිකයන් හත්දෙනකුත්, ගුවන් හමුදා සාමාජිකයන් පස්දෙනකුත් සිටින බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස පිපිරීමට ලක්වූ බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා අලුයම 5.20ට පිටත්ව බදුල්ල හරහා මහියංගණ, හෙබරව දක්වා ධාවනය වන බස් රථයක් බවද හඳුනාගෙන ඇත.

නුවරඑළිය හරහා බණ්ඩාරවෙලට පැමිණි යාපනය _ බණ්ඩාරවෙල බස් රථයෙන් බැස ආ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ඇතුළු පිරිසක් පිපිරීමට ලක්වූ මේ බසයට ගොඩවී ඇත.
මගීන් 30ක් පමණ ගමන් ගත් බස් රථය තුළ අලුයම 5.30ට පමණ මේ පිපිරීම සිදුව ඇත්තේ බසයේ රාක්කයේ තිබූ බෑගයක් බිමට වැටීමත් සමඟ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

පිපිරුමෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර තුවාල ලැබූ 19 දෙනා ප්‍රදේශවාසීන් හා ආරක්‍ෂක අංශ මැදිහත්වීම මත දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පිපිරීම සිදුව ඇත්තේ බෝම්බයකින් බවට සඳහන් කරන පොලිසිය මෙය බසයට ගොඩවූ හමුදා සාමාජිකයකු විසින් රැගෙන ආ බෝම්බයක් යැයි සැක කරන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොට ඇත.

බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ බස් රථයේ ගමන් ගනිමින් සිටින මගීන් කියන කතාවයි මේ.
බණ්ඩාරවෙල පදිංචි එස්. යුවරාජ් මහතා,


"මම බණ්ඩාරවෙල මහ නගර සභාවේ වැඩ කරන්නේ. මාමා අසනීප වෙලා දියතලාව රෝහලේ ඉන්න නිසා උදෙන්ම බණ්ඩාරවෙලින් දියතලාවට යන්න පාන්දර 5.15 වෙද්දී බස් නැවතුම්පොළට ආවා. බස් එක 5.20ට විතර පිටත් වුණා. මම බස් එකේ පිටුපස්සේ ෂීට් එකේ හිටියේ. එක පාරටම බස් එකේ ඉස්සරහින් මහ ශබ්දයක් සමඟින් ‍ෙදාර ළඟින් ලොකු පිපිරීමක් ආවා. ඒ එක්කම දුමක් ඇතිවෙලා බස් එක ගිනි ගන්න පටන් ගත්තා. පිපිරිච්ච පාරට බස් රථය පුරාවටම කෑලි විසිවුණා. ඒ කෑලි මගේ කකුලට වැදිලා මගේ කකුල තුවාල වුණා. මම ඒ එක්කම එළියට පැන්නා. පස්සේ බස් එක දෙපැත්තෙන් ගිනි ගන්න ගත්තා. බෝම්බයක් පිපිරුණා කියලා තමයි මට හිතෙන්නේ. පස්සේ එතෙන්ට ආපු අය මාව දියතලාව රෝහලට අරන් ආවා"

මෙම බස් රථයේ කොන්‍ෙදාස්තර වශයෙන් කටයුතු කළ නලින් මංජුල මහතා,
"ඒ වෙලේ බස් එකේ එච්චර සෙනඟක් හිටියේ නෑ. යාපනය ඉඳන් බණ්ඩාරවෙලට එන බස් රථය ආවට පස්සේ අපි ඒ සෙනඟත් දාගෙන උදේ 5.20ට විතර බණ්ඩාරවෙලින් දියතලාවට එන්න පිටත් වුණා. කිලෝමීටර් 3ක් විතර බස් එක කහගොල්ල හරියට එන්න ඇති. මම බස් එකේ ඉස්සරහ ඉ¼දන් පිටුපස ‍ෙදාර අරින්න කියලා හිතාගෙන බස් එකේ පිටුපස්සට එද්දී එකපාරටම බස් එකේ මැද්දෙන් වගේ ඩෝං ගාලා මහා ශබ්දයක් එක්ක ලොකු පිපිරීමක් ඇති වුණා. පස්සේ බස් එක ගිනි ගද්දී එළියට පැන ගත්තා"

කහගොල්ල පදිංචි බී.ඒ. චන්දසිරි මහතා,
"මම දියතලාවේ මුරකරුවෙක් ලෙස වැඩ කරන්නේ. මම කහගොල්ල ලී මඩුව ළඟින් බස් එකට නැග්ගා. මට පොඩ්ඩ දුරයි යන්න ලැබුණේ. එක පාරටම ඩෝං ගාලා බස් එක ඇතුළෙන් මහා ශබ්දයක් ආවා. මම වාඩිවෙලයි හිටියේ. එක පාරටම මම බස් එකෙන් එළියට පැන්නා. පස්සේ බස් එක ගිනි ගත්තා. පිපිරුණේ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා"
දියතලාව ගල්ඒදණ්ඩ පදිංචි ජේ.පී. හේමාවතී මහත්මිය,

"මම බස් රථයේ වාඩිවෙලයි හිටියේ. එක පාරටම බෝම්බයක් වගේ පිපිරීමක් ඇති වුණා. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද වුණේ කියලා. ඒ එක්කම මගේ කකුලට වේදනාවක් ඇතිවුණා. ටිකක් වෙලා යද්දී මගේ කකුල හිරිවැටෙන්න ගත්තා. පස්සේ බස් රථය ගිනි ගත්තා. මම එළියට පැන්නා. එතකොට මාව බිම වැටුණා. පස්සේ එතෙන්ට ආපු අය මාව දියතලාව රෝහලට අරන් ආවා"

සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා මෙසේ කීය.
"දියතලාව ප්‍රදේශයේ බස් රථයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේ වනවිට රෝගීන් 19 දෙනකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 12 දෙනකු ආරක්‍ෂක අංශ සාමාජිකයන්. තුවාල ලැබූ අය අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළයි.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කරනු ලැබුවා. අනෙක් පුද්ගලයාගේ උදරයට හා පාදවලට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.
ඉතිරි තුවාලකරුවන් පිපිරුම නිසා සිදුවූ තුවාල හා පිලිස්සුම් තුවාල ලැබූ අයයි. ඔවුන් සැමටම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලුව කටයුතු කරනවා".

මෙතෙක් කරන ලද මූලික විමර්ශනවලට අදාළව හා සටහන් කර ඇති ප්‍රකාශ අනුව බස් රථයේ සිටි යුද හමුදා සෙබළකු භාරයේ තිබූ ජීව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් මෙම සිද්ධිය ඇතිවූ බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon