එජාප - ශ්‍රීලනිප හවුල දිගටම

  👤  3429 readers have read this article !
By mawbima 2018-02-22

පාර්ලිමේන්තුව ඊයේ (21දා) දින රැස්වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ ජාතික ආණ්ඩුව පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමට යන ප්‍රකාශය ගැනය.

පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියේය.
ඊට මඳක් පසුපසට වන්නට ආණ්ඩු පක්ෂයේම පුටු පේළියක් දෙසද බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.
එම පුටු පේළියේ අසුන්ගෙන සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සාකච්ඡා කරමින් සිටියහ.

මෙම ස්ථාන දෙක දෙසටම බොහෝ දෙනකුගේ අවධානය ලක්වී තිබුණේ ජාතික ආණ්ඩුවට අදාළ වන ප්‍රධාන පාර්ශ්ව දෙකම එම ස්ථානවල සිටි බැවිනි.
අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු බවයි.
'මේ සභාවේ එකඟත්වයෙන් ගත් තීරණය අනුවයි ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. ඒක තවමත් වලංගුයි. දැනට ඒක අවලංගු කරන්න අවශ්‍යතාවක් මතුවෙලා නැහැ' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේ ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයා මහින්ද අමරවීර අමාත්‍යවරයා දෙසට හැරුණු අතර ඒ සමඟ මහින්ද අමරවීර අමාත්‍යවරයාටද අදහස් දැක්වීමට කතානායකවරයා විසින් අවස්ථාවක් ලබාදෙන ලදී.

'එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුම අස්සන් කරලා තියෙනවා. මෙම ගිවිසුමේ රැඳී සිටීමට දිගටම කටයුතු කරනවා. තවම ඉවත් වෙලා නැහැ.' යනුවෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ප්‍රීතියෙන් කෑගැසූහ.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අත්පොළසන් ලබාදුන් අතර මේසවලටද තට්ටු කරමින් ඔවුහු තම සතුට ප්‍රකාශ කළහ.
මේ සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊට විරෝධය පළ කරමින් කෑ කෝ ගසන්නට වූ අතර සමහරු තම ආසනවලින් නැඟිට අත් දිගුකරමින් කෑකෝ ගසමින් සිය විරෝධය පළකර සිටියහ.

මේ සමඟම නැඟී සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය.
'මෙම ජාතික ආණ්ඩු ගිවිසුම අවුරුදු දෙකකට බලාත්මකයි කියලයි තිබුණේ. එය හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙනවා. සැප්තැම්බර් 02 වැනිදා මෙම ගිවිසුම අවසන් වෙලා තියෙනවා. එදා ඉඳලා මාස 4ක් ගිහිල්ලා තිබෙනවා. අද ඉඳලා මේ ගිවිසුම අලුත්වෙනවා නම් පසුගිය මාස 4දී ඇති වන රික්තකයට වෙන්නේ මොනවාද? යනුවෙන් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.

මෙහිදී නැඟී සිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මෙම යෝජනාව කියැවිය යුතු බවයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් එම යෝජනාව ශබ්ද නඟා කියවන ලදී. ඉන් අනතුරුව නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාය.
'මෙම ගිවිසුමට අස්සන් කරපු මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ජීවතුන් අතර නැහැ. ඒක නිසා මේ ගිවිසුම මොකක්ද කියලා අපට පෙන්වන්න. ඕනෑම දෙයක් කරගන්න අපට ප්‍රශ්නයක් නැහැ. බහුතරය තියෙනවානම් යූඇන්පී ආණ්ඩුවක් වුණත් තියාගන්න' දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාද ගිවිසුම ඉල්ලා සිටියේය.
මීට පිළිතුරු ලබාදීමට නැඟී සිටියේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.
'ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන කියලා එකක් නැහැ. අගමැතිතුමායි, සන්ධානයේ මහ ලේකම්වරයායි කිව්වා ජාතික ආණ්ඩු ගිවිසුම වලංගුයි කියලා. ඉතිං තව මොනවාද?' සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
'ජාතික සම්මුතියක් නැතිව යෝජනාවක් ගේන්න බැහැ. එහෙම දෙයක් ඒ යෝජනාවේ නැහැ' අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පැවැසුවේය.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යමක් ප්‍රකාශ කරමින් ඊට බාධා කරන්නට විය.

'මේ පනින්නේ නැතිව ඉන්නවාද?' අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා තරමක දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කළේය.'
'මේක කච්චේරියක් නෙවෙයි පාර්ලිමේන්තුවයි. මේක දිසාපති කාර්යාලයක් නෙවෙයි. ඒ කතාව දැන් ඉවරයි' සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවැසුවේය. ඉන් පසුව නැඟී සිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් 1916 සිට එංගලන්තයේ සිට පැවත එන ජාතික ආණ්ඩු පැටිකිරිය සහ ඒවායේ ගිවිසුම් ගැන විග්‍රහයක නිරත විය.
උදය ගම්මන්පිල, තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් කෑගසන්නට වූයේ අග්‍රාමාත්‍යවරයාගෙන්් යමක් විමසමිනි.

'කෑගහන්නේ නැතිව වාඩිවෙන්න' ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අත දිගුකරමින් ප්‍රකාශ කළේය.
'යෝජනාවක් ඉදිරිපත් නොකර මේ විදියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම වැරැදි පූර්වාදර්ශයක්. ඕනෑම අගමැති කෙනකු ලියවිල්ලක් ඉදිරිපත් නොකර ප්‍රකාශ කරාවි ඔහුට ජාතික ආණ්ඩුවක් තිබෙනවා. ඒක නිසා ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන්. ඇමැති මණ්ඩලය වැඩිකරගන්න පුළුවන් කියලා.' යනුවෙන් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පැවැසුවේය.

ඉන් පසුව මතුකරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවන්නට විය. මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමත් සමඟම වචන හුවමාරුවීම් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතු වූයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරය.
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනභවන් මහතා විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් චෝදනා කරන ලද්දේ ශිවශක්ති ආනන්දන් මහතාටය.

'අය - වැය සම්මත කරගැනීමට ඡන්දය ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මුදල් ලබාගත්තා කියලා ආනන්දන් මන්ත්‍රිවරයා චෝදනා කළා. එම චෝදනාව සියලුම මාධ්‍යවල පළවුණා. මෙමඟින් දෙමළ ජාතික සන්ධානයේ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබෙනවා.' යනුවෙන් ඊ. සරවනභවන් මන්ත්‍රිවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන ලදී.
මේ සමඟම නැඟී සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා නැඟී සිටිමින් පිළිතුරු ලබාදීමත් සමඟම මැතිසබය තුළ ඇති වූයේ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් මෙන්ම උණුසුම්කාරී තත්ත්වයකි.

'පසුගිය අය - වැයට විරුද්ධව ඡන්දය ලබාදීමට තමයි අපි තීරණය කරලා තිබුණේ. ඒක විපක්ෂ නායකතුමාත් දන්නවා. නමුත් ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් අපිට මුදල් ලබාදීලා කිව්වා අය - වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්න කියලා' යනුවෙන් ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මේ කතාවට එම්.ඒ. සුමන්තිරන්, ඊ. සරවනභවන් යන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනාට හොඳටම යකා නැග්ගා.
ඔවුන් දෙදෙනාම ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාට බාධා කරන්නට වූ අතර ඔවුන් තිදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා.
වරප්‍රසාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අනුව මෙසේ ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ ගැන කඩිනමින් අවධානය යොමු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී.

නමුත් එය නොතැකූ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා එක දිගටම කතා කරගෙන ගියේය.
මේ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය මහතා විසින් ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාට දැඩි ලෙස අවවාද කරන්නට විය.
'කරුණාකරලා අසුන්ගන්න. මං දැන් දෙසැරයක්ම අවවාද කළා. අසුන් ගන්නේ නැත්නම් මට ඔබතුමාව මේ සභාවෙන් ඉවත් කිරීමට සිදුවෙනවා. ඒක නිසා කරුණාකර අසුන්ගන්න' යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා විසින් දැඩි ලෙස අවවාද කරන ලදී.

ඉන් පසු ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා අසුන්ගත් අතර පැවැති උණුසුම්කාරී තත්ත්වය ඒ සමඟම අවසන් විය.
පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න අසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ප්‍රශ්නයක් විමසන ලදී.

වෛද්‍ය පීඨය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ අවම ප්‍රතිඵලය, ල අගය, ඉගෙනීම ලැබූ පාසල හා තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය ගැන මෙම ප්‍රශ්නයෙන් විමසා තිබිණි.
ඵ ලබාගත්ත අයත් හොඳ වෛද්‍යවරුන් වෙලා තියෙනවා. ට්ර්ර්ණී එකේ ඉන්න නිලධාරීන් හුඟදෙනකුට තියෙන්නේ ඵ තුනයි. ට්ර්ර්ණී එකේ ලොකු මහත්තයකු සම්මුඛ පරීක්ෂණයකටත් ආවේ නැහැ. මොකද එයාට තියෙන්නේ ඉ තුනක් නිසයි.' යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
'ඕ' තුනක්වත් අවම සුදුසුකම විය යුතුයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා පැවැසීය.

'ඉ' තුනට කැමැති නැද්ද? එහෙනම් ඔබතුමාලා 'ඕ' තුන කියලා යෝජනාවක් කරන්න. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
'කොච්චර යෝජනා ගේනවද? ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැනේ.' වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා පැවැසුවේය.
පාර්ලිමේන්තුවේදී ඊයේ දින විවාදයට ගැනුණේ මෝටර් වාහන පනත යටතේ නියෝගයක්ය. මෙම නියෝගය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

නමුත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සිටිනු දක්නට නොවීය. එම නිසා මෙම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසිනි.
මෙම විවාදයට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අපූරු කරුණක් ප්‍රකාශ කළේය.
'මං මේ බලාගෙන සිටියේ ප්‍රවාහන ඇමැතිතුමා අලුත් අගමැතිතුමා විදියට මේ රෙගුලාසිය ඉදිරිපත් කරාවිද?' කියමින් නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ සිනාසෙමිනි.

'මං මේ බලාගෙන හිටියේ බොහොම ආසාවෙන් ප්‍රවාහන ඇමැතිතුමා එනකම්. අනේ ප්‍රවාහන ඇමැතිතුමා නැහැ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා තමයි රෙගුලාසි ඉදිරිපත් කළේ' යනුවෙන් ප්‍රකාශ කෙළේ විවාදයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතාය.
'සමහරුන් රටේ ප්‍රශ්න විසඳන්නේ නැතිව අලුත් ඇමැතිකම් ගැන හිතලා හඳහන් අරගෙන දේවාලවලට ගිහිල්ලා තියෙනවා' යනුවෙන් විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර මහතාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon