බිරියටත්, අනියම් සැමියාටත් පිහි පහරදී පලා ගිය සැමියා අල්ලන්න පරීක්ෂණ

  👤  3374 readers have read this article !
By mawbima 2018-02-22

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත වෙන්නප්පුව - එම්.ඩී. රවීන්ද්‍ර

අනියම් සැමියා සමඟ නිවෙසේ සිටි බිරියට පිහියකින් ඇන කපා කොටා තුවාල සිදු කර ඇයගේ මරණය සිදු කළ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය කියයි. පසුගිය 20 වැනිදා මාරවිල - කුරුසපල්ලිය 2 පටුමඟ ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී ඇත.
මරණයට පත්ව ඇත්තේ කුලසිංහගේ මංජුලා ප්‍රියදර්ශනී සේනානායක නම් වූ 37 හැවිරිදි තිදරු මවකි. ඇයගේ අනියම් සැමියාද කැපුම් කෙටුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මියගොස් ඇති කාන්තාවගේ සැමියා මීට වසර 14කට පමණ පෙර මිය ගොස් ඇත. එම විවාහයෙන් ලත් දරුවන් මේ වන විට විවාහ වී සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පසුව ඇය සැකකරු සමඟ විවාහ වී පවුල් ජීවිතයක් ආරම්භ කර ඇත. ඔහු කරණවෑමියෙකි. එම විවාහයෙන් ඇයට වයස අවුරුදු 11ක දියණියක්ද සිටී. මිය ගොස් ඇති කාන්තාව සමඟ විවාහ වී සිටි දෙවැනි සැමියා නිරන්තර විවිධ ගැටුම්වලට මැදිවන නිසා ඇය ඔහුගෙන් වෙන්ව තනිවම වාසය කර ඇත. සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

දැරිය මාරවිල ප්‍රදේශයේ නවාතැන්පොළක නවත්වා පාසල් යවා ඇති අතර මිය ගොස් ඇති කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇත.
පසුගිය 20 වැනිදා රාත්‍රියේ අනියම් සැමියා සමඟ බිරිය නිවෙසේ සිටියදී නිවෙසට පැමිණ ඇති සැකකරු නිවෙසේ ‍ෙදාර කඩාගෙන ඇතුළු වීමට උත්සාහ කර ඇත. ඒ වන විට ‍ෙදාර විවෘත කරගෙන එළියට පැමිණ ඇති මියගිය කාන්තාවගේ අනියම් සැමියාට මුලින්ම පිහියකින් පහරදී ඇති සැකකරු පසුව තම බිරියට පිහියෙන් පහරදී බරපතළ තුවාල සිදු කර ඇත. සියල්ල සිදුවීමෙන් පසුව සැකකරු පලා ගොස් ඇත.

තුවාල ලබා සිටි දෙදෙනා අසල්වාසීන් විසින් එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනාම කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

ජාතික රෝහලේදී කාන්තාව මිය ගොස් ඇත.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයනාථ, පොලිස් කොස්තාපල්වරුන් වන රොෂාන් (82448), රංජිත් (48342) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon