දෝෂ සහිත පළාත් පාලන පනතක් හදපු මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

  👤  3476 readers have read this article !
By mawbima 2018-02-22

පළාත් පාලන මැතිවරණය පවත්වා සතියකට අධික කාලයක් ගත වී තිබුණද පළාත් පාලන පනතේ තිබෙන දෝෂ හේතුවෙන් සභා පිහිටුවීමට නොහැකි වී තිබෙන බවත් එවැනි දෝෂ සහිත පනතක් නිර්මාණය කළ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
මෙවැනි අසම්පූර්ණ ක්‍රියා හේතුවෙන් අද රටම අක්‍රිය වී තිබෙන බවත් ඊට මැතිවරණ කොමසාරිස්වරයා, පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (21දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
අවුරුදු දෙකහමාරක් පමණ ප්‍රමාද කරලා ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූවා. තවමත් ප්‍රතිඵල නිකුත් කරගන්න බැරුව ඉන්නවා.
මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව විශාල ජයග්‍රහණයක් ලැබුවා. නමුත් තවමත් ප්‍රාදේශීය සභා ටික පිහිටුවාගන්න බැහැ. අද කියනවා සංශෝධන ගේන්න ඕන කියලා. සමහර තැන්වල කාන්තා නියෝජනය අඩු නිසා ඒවාට සංශෝධන ගෙනෙන බව පවසනවා. මේක මොන විහිළුවක්ද. ආණ්ඩුවේ නොහැකියාව තමයි මේ පෙනෙන්න තිබෙන්නේ. මේ පනත හැදුවේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ගේ විවිධ වුවමනාවන්ට අනුව. එසේ කරලා අද රටම අක්‍රිය කරලා තිබෙනවා.
මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මැතිවරණ කොමිසමේ සභාපති ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වලා, සභා පිහිටුවන්න බැරි නම් ඒ පනත හදපු අය ඉල්ලා අස්වෙන්න ඕන.

සමහර කණ්ඩායම්වල ඇප මුදල අවලංගු වෙලා. හැබැයි මන්ත්‍රිවරු ටික ඉන්නවා. ලෝකේ කොහේවත් ඇප අවලංගු වුණු කණ්ඩායම්වලින් මන්ත්‍රිවරු පත්වන්නේ නැහැ. මේකට ජනතා විමුක්ති පෙරමුණයි, එජාපයයි ඔවුන්ගේ වුවමනාවට සංශෝධන ගෙනාවා. හිටපු මන්ත්‍රිවරු හාරසීයකට, පන්සියයකට තරග කරන්න බැරිවෙලා තිබෙනවා.
සාමාන්‍යයෙන් නීතියක් තිබෙනවා රාජ්‍ය සේවකයකුට නිවාඩු අරගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. ඒකට ගෙනාවා අවුරුද්දකට කලින් නිවාඩු ඉල්ලන්න ඕන කියලා. මේ වගේ අසාධාරණ සංශෝධන හදලා අද ඒකත් අවුලක් වෙලා තිබෙනවා. ඉතින් කොහොමද ආණ්ඩුවේ අනෙක් වැඩ ටික කරන්නේ.
අධිකරණය තීන්දු කළා මැතිවරණය නිසි කලට පවත්වන්න කියලා. අධිකරණය තීන්දු කළත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ජවිපෙ සමඟ එකතු වෙලා තවත් සංශෝධනයක් ගෙන ආවා. අගමැතිවරයයි, කතානායකවරයායි වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට කැමැති වුණාට ඒ ක්‍රමය අනුගමනය කරන්නේ නැහැ.
දැන් යහපාලන ආණ්ඩුවේ කාලය අවසන් වෙලා තිබෙන්නේ. කතානායකවරයාගෙන් ඒ ගැන විමසූවිට කිව්වේ තවමත් කාලය දිගු කරනවාද කියලා දැනුම් දී නැති බවයි. අද වන විට මේ ඇමැතිවරු වලංගු නැහැ. ව්‍යවස්ථාව අනුව 30කට වැඩිය ඇමැතිවරු වලංගු නැහැ.

පාසල් ගුරුවරියක් නායකත්ව පුහුණු වැඩසටහනේදී මිය ගිහින් තිබෙනවා. මෙම වැඩසටහන ආරම්භ කළේ අපේ කාලයේ. ඒක කළේ බොහොම ප්‍රමිතියකට අනුව. යුද හමුදාවේ පුහුණු අංශයට භාරදීලා. අකිල විරාජ් කාරියවසම් ඒක ලබාදුන්නා තමන්ගේ ගජ මිතුරකු වන චරිත රත්වත්තෙට. කිසිම ප්‍රමිතියක් නැති තැනකට භාරදීලා අපරාදේ අවුරුදු 52ක ගුරුවරියක් මිය ගියා. මේ ආණ්ඩුව හැම වැඩක්ම මේ ආකාරයට අනාගෙන තිබෙන්නේ. ආණ්ඩුවට කරන්න තියෙන්නේ මහ මැතිවරණයක් පවත්වලා ගෙදර යන්නයි. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා
සභා පිහිටුවීම මාර්තු 20 දක්වා කල් දැමීමේ උත්සාහයක් තිබෙනවා. කිසිම වැඩක් පිළිවෙළට කරගන්න බැරි මේ ආණ්ඩුව වගකීම භාරගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව පරාජය කරන්න උපාය උපක්‍රම ක්‍රියාත්මක කළත් ආණ්ඩුව අන්ත පරාජයකට පත්වෙලා තිබෙනවා. ඒ අතරේම මේ අය කියනවා පත්වන නියෝජිතයන් අවුරුද්දක් යනතුරු කිසිම දීමනාවක් නැතිව සේවය කළ යුතුයි කියලා.

පසුගිය වසරේ අගමැතිවරයා කිව්වා පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පවත්වනවා කියලා. නමුත් තාම පළාත් සභා සීමා නිර්ණ වාර්තාවත් ගැසට් කරගන්න බැරි වෙලා තිබෙනවා. ආණ්ඩුවත් අසමත්, පළාත් පාලන ඇමැතිවරයාත් අසමත්. එහෙම තියෙද්දී පළාත් සභා මැතිවරණය පවත්වන්න හදනවා 50%ට 50% ක්‍රමය තුළ. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා පළාත් සභා ස්ථාවරව පවත්වාගෙන යෑමට නම් 70%යි 30% ක්‍රමය පවත්වන්න කියලා.
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරගන්න රජය උත්සාහ කරන බව පුවත්පත්වලින් අනාවරණය කර තිබෙනවා. ඇස්බැස්ටස් තහනමත් ඉවත් කර ගත්තා. වගකීමක් රහිත ප්‍රකාශ කරලා ආණ්ඩුව කරන්නේ රට ව්‍යාකූල තත්ත්වයට පත් කිරීමයි.

ඒ වගේම බස් බෝම්බයක් පුපුරා ගියාද කියලා සැකයක් ජනතාව තුළ ඇති වෙලා තිබෙනවා. අද උදෑසන බණ්ඩාරවෙල සිදු වූ සිදුවීමත් සමඟින් හමුදා නිලධාරීන් ඇතුළු 7 දෙනකු මේ සිදුවීමෙන් තුවාල ලබා තිබෙනවා. ආරක්ෂාව භාර නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ගැන සත්‍ය තත්ත්වය රටට ඉදිරිපත් කරන්න කියලා. රටට හෙළිකරන්න බස් රථය පුපුරා යෑමට හේතු වුණේ කුමන කරුණක්ද කියලා. මේ වන විට නීතිය හා සාමයට වගකියන්න ඇමැතිවරයෙක් නැහැ. සාගල රත්නායක මහතා ඉල්ලා අස්වුණා කියලා මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණා. තවමත් සාගල රත්නායක ඉල්ලා අස්වුණාද? නැද්ද? ජනාධිපතිවරයා එය පිළිගත්තාද? නැද්ද? ඇමැතිවරයෙක් ඒ සඳහා සිටිනවාද දන්නේ නැහැ. ඒ පිළිබඳ මහජනතාවට ආණ්ඩුව කරුණු දැක්විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර
මේ මැතිවරණ ක්‍රමය තුළ පළාත් පාලන ආයතන 74ක බලය පිහිටුවීමේ ගැටලු මතුවෙලා තිබෙනවා. එජාපයටත්, ශ්‍රී ලනිපයටත් පළාත් පාලන ආයතන 92ක බලය පිහිටුවන්න නොහැකි වෙලා තිබෙනවා. මෙවැනි අර්බුදයක් මතු වුණේ ආණ්ඩුව දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතුව පත් කළ කමිටුව හදපු පනත වෙනස් කරලා නව සංශෝධන සහිත පනතක් ගෙන ආ නිසයි. අද වන විට මැතිවරණ කොමිසමට හරි ප්‍රතිඵලය ඉදිරිපත් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
තවමත් සභා පිහිටුවන්න දිනයක්වත් නම් කරලා නැහැ. ඇප අවලංගු වූ පුද්ගලයන්ටත් සභික ධුර තිබෙනවා. ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි දේශපාලන වශයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව පැත්තෙනුත් කඩා වැටිලා තිබෙන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon