මා ජීවත්ව සිටියදී තවත් ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේනව දකින්න ආසයි: ඒ සඳහා අලුත් කමිටුවක් ඕනෑ

  👤  3457 readers have read this article !
By mawbima 2018-02-22

දිනෙන් දින උණුසුම් වන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) නිලවරණයට අදාළව සටන් වදින දෙපාර්ශ්වයම තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, සභාපති තනතුර සඳහා තරග වදින රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පාර්ශ්වය වෙනුවෙන් හඬක් නැඟීමට ශ්‍රී ලංකාවේ එකම ඔලිම්පික් පදක්කම්ලාභිනිය වන සුසන්තිකා ජයසිංහ එක්ව සිටියාය. හෙට සන්ධ්‍යාවේ පැවැත්වෙන එන්.ඕ.සී. නිලවරණයට පෙර රොහාන් ප්‍රනාන්දු මහතාගේ කණ්ඩායම සහභාගි වූ අවසන් මාධ්‍ය හමුව ලෙස පැවැති විශේෂ අවස්ථාවට එසේ සුසන්තිකා ජයසිංහ ද එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය කියා සිටියේ උපන් මාතෘ භූමිය වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ තමන් හට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් නිසි ඇගැයීමක් මෙතෙක් නොලැබුණු බවය.

වසර 25ක තම ක්‍රීඩා දිවිය තුළ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ඉහළ පෙළේ ජාත්‍යන්තර පදක්කම් 4ක් දිනා දුන් බවද සඳහන් කළ සුසන්තිකා මහත්මිය "නිලවරණයට ඉදිරිපත්ව සිටින මෙම රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ කණ්ඩායමේ එකමුතුව අද යුගයේ අවශ්‍යතාවක් ලෙසයි මා දකින්නේ. ඔලිම්පික් පදක්කම් ලාභිනියක් ලෙස පළමුව මේ ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායමට මම අතිශය ගෞරව කරනවා. නමුත් අද ක්‍රීඩාවේ කඩා වැටීමට පළමු හේතුව ක්‍රීඩාව කරපු අයට, ක්‍රීඩාව ගැන අවබෝධයක් තියෙන අයට ක්‍රීඩා පරිපාලනයට අවස්ථාවක් නොදීමයි. ඒ අනුව බැලුවාම අද රොහාන් සමඟ ඔලිම්පික් පරිපාලනය භාරගන්න ඉදිරිපත් වෙලා සිටින පාලිත ප්‍රනාන්දු, ඩයන් ගෝමස් වැනි මහත්වරුන් එදා මෙදා තුර තමන් සතු සියලුම කැපවීම් කරලා ක්‍රීඩාව ගොඩගන්න කටයුතු කළ අයයි. අද ක්‍රීඩාවට නිසි වටිනාකමක් නැහැ. නිසි කළමනාකරණයක් නැහැ. මට කලින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රිදී පදක්කමක් ගෙන ආව ඩන්කන් වයිට් මහත්මයා ජීවතුන් අතර ඉන්න කාලේ එතුමාට බලන්න පුළුවන් කාලෙක මම ඔලිම්පික් පදක්කමක් ගෙනාව. ඒ වගේ මම මැරිලා යන්න කලින් තව කෙනෙක් පදක්කම් දිනනව දකින්න ආසයි. රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ඔබතුමන්ලාගේ මඟ පෙන්වීම යටතේ ඒක කරන්න පුළුවන් වුණොත් මගේ ප්‍රාර්ථනා ඉටුවීමක්. ඒ වෙනුවෙන් මාගේ කැපවීම ලබා දෙන බවට අද ප්‍රතිඥාවක් දෙනවා." යනුවෙන්ද කීවාය.

"එහෙත් අද ක්‍රීඩකයෝ අතර සමඟියක් නැහැ. ඒකට මේ කමිටුවල හිටපු සභාපති වගකියන්න ඕන. ලෝකයක් දිනපු කාන්තාවක් හැටියට මම ජීවතුන් අතර ඉන්න කාලේ මට ඇගැයීමක් කරන්න කියලා දණ ගහලා වැඳලා කිව්වා. ඒත් කළේ නැහැ. එහෙම නම් ක්‍රීඩාවේ වටිනාකම කොතැනද? අද මම මෙතැනට ආවේ බොහෝම සතුටින්. හේතුව මෙතැනට එකතු වෙලා ඉන්නේ යහපත් ගමනක් යන්න පුළුවන් දක්ෂ පිරිසක් බව මා දන්නා නිසයි. ඔලිම්පික් දිනපු මට තැනක් නොදුන්නානම් අනෙක් අය ගැන කුමන කතාද?" යනුවෙන් පැවැසුවාය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සභාපති ධුර අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඡන්දය හා දූෂණය යන වචන දෙක එකට සම්බන්ධව ගමන් කිරීම සාමාන්‍ය සිදුවීමක් වී ඇති බවයි. කෙසේ වෙතත් තම කණ්ඩායම දූෂණයෙන් තොර ක්‍රීඩාවක් සඳහා ඇප කැප වන බවත් ක්‍රීඩාව ආදායම් මාර්ගයක් නොකරගෙන ස්වෙච්ඡාවෙන් කටයුතු කිරීම එදත් අදත් හෙටත් තම පරමාර්ථය බවත් පැවැසීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතාද එක්වෙමින් අදහස් දැක්වීමද විශේෂත්වයක් විය.

ඡායාරූප-තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon