පළාත් පාලන මන්ත්‍රින්ට පැනිලි තහනම්

  👤  3472 readers have read this article !
By mawbima 2018-02-22

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 10 (අ) වගන්තිය පරිදි මින් ඉදිරියට මන්ත්‍රිවරයකුට පක්ෂ මාරු කිරීමට ඉඩ නැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.
එහි දැක්වෙන්නේ කිසියම් පක්ෂ ලේකම්වරයකු විසින් තම පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයකු පක්ෂයේ සාමාජිකයකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ඡන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව එම නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී අදාළ තැනැත්තා සිය සභික ධුරය අවසන් කර ඇති බව ප්‍රකාශයට පත්කළ හැකි බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ගනු ලැබූ සභිකයන් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කරන ගැසට් නිවේදනය මඟින් මාර්තු මස 6 වැනි දින සිට ඒ ඒ සභාවල සභිකයක්ගේ ධුර කාලය ආරම්භ වනු ඇත.
පළාත් පාලන අණ පනත්වල නෛතිකමය ප්‍රතිපාදන සැලසී ඇති බැවින් මැතිවරණ කොමසාරිස් විසින් තෝරා ගත් සභිකයන් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟම සභාවල ධුර කාලය ආරම්භ වීමටද බාධාවන් නොමැත.
2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අතීතයට බලපාන පරිදි පැවැති ඡන්දය සඳහා අදාළ වනසේ සංශෝධන සිදු කිරීමට හැකියාවක් නොමැති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

සභිකයන් තෝරා පත්කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටලු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරැදි කිරීමේ හැකියාවක් පවතින බවද එහි සඳහන් වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65 (ආ) වගන්තිය සහ 66 වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අයගේ නම් නිශ්චිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පළ කළ යුතු අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම් වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතු වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon