අවුරුදු දහයක් තිස්සේ ඉන්න ඉඩමෙන් යන්න කියලා නියෝගයක්

  👤  4325 readers have read this article !
By mawbima 2018-02-23

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන මව හා මිත්තණියගේ ජීවිතය බේරා ගැනීම සඳහා අනාගතයේ හෙදියක් වීමට සිහින දකිමින් සිටින නිලක්ෂි වත්සලා දියණිය පදිංචි වී සිටින නිවෙස හා ඉඩම වහා අත්හැර යන ලෙස
ඇළහැර ප්‍රාදේශීය ලේකම්වරිය නියම කිරීමෙන් එම පවුලම දැඩි අසරණ තත්ත්වයට පත්වී සිටී.

නිලක්ෂි වත්සලා දියණියගේ පියාද වකුගඩු රෝගයක් වැලඳීමෙන් මීට වසරකට පෙර මියගොස් ඇති අතර පියාට අත්වූ ඉරණම තම මවට හා මිත්තණියට අත්වීමට ඉඩනොදී ජීවිත බේරා ගැනීමේ සිහිනය දකිමින් සිටින මොහොතක 2018-02-10 දිනට පෙර දරුවන්ද රැගෙන ඉඩම අත්හැර යන ලෙස නිලක්ෂි දියණිගේ මව වන දිල්හානි කුමාරි මහත්මියට ඇළහැර ප්‍රාදේශීය ලේකම්වරිය නියෝග නිකුත් කර ඇත.

පදිංචි ඉඩමේ එළවළු වගාකර ගඩොල් කපා කාටත් අතනොපා මව හා මිත්තණිය ජීවත් වීමට වෙර දරද්දී ලොකු අක්කා හා කුඩා නැඟණිය ජීවත් කරවන මෙම මවුවරුන් දෙදෙනා බේරාගැනීමට හෙදියක් වීමට සිහින දකින නිලක්ෂි වත්සලා දියණියගේ බලාපොරොත්තු ඉඩම අත්හැර යෑමට සිදුවීමෙන් බොඳ වී යමින් තිබේ.
වකුගඩු රෝගයෙන් පීඩා විඳින මෙම පවුල සොයා "මව්බිම" ගිය ගමනේදී නිලක්ෂි දියණියගේ මව වන දිල්හානි කුමාරි මහත්මිය කඳුළු පිරි දෑසින් අසරණකම මෙසේ පැවැසුවාය.

අපි මේ ඉඩමේ පදිංචියට ඇවිල්ලා අවුරුදු දහයක් වෙනවා. මේ ඉඩමේ පදිංචි වෙලා හිටියේ කේ.එම්. චන්ද්‍රසේන මාමා. එයා මගේ තාත්තාගේ සහෝදරයෙක් වෙනවා. ඒ මාමාට ඉඩමේ පදිංචි වෙලා ඉන්න දිසාපතිතුමා අවසර දීලා තිබුණා. (බලපත්‍ර අංකය පො/ඇ/70/ජී/130) මාමාට දරුවෝ හිටියේ නැති නිසා මට ඉඩම දුන්නා. එදා ඉඳලා ඉඩමේ කෙසෙල්, පොල් දාලා ඉඩම දියුණු කළා. මට ගැහැනු දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ රත්තරං දරුවෝ දෙන්නෙක් ඉගෙන ගන්නවා. තව පොඩි දුවක් ඉන්නවා. දරුවන්ගේ තාත්තා වකුගඩු රෝගය හැදිලා දුක්විඳලා 2017 ජනවාරි 29 මැරුණා. එදා ඉඳලා මමයි මගේ අම්මයි එකතු වෙලා දරුවන් ජීවත් කරනවා. මටත් වකුගඩු රෝගය හැදිලා. අම්මටත් වකුගඩු රෝගය. ලෙඩේට අපි දෙන්නාම බකමූණ ඉස්පිරිතාලෙන් බෙහෙත් බොනවා. අපි ජීවත් වෙන්නේ ඉඩමේ ගඩොල් කපලා. බටු මිරිස් වගා කරනවා. සියඹලා වැටෙන කාලෙට සියඹලා විකුණලා ජීවත් වෙනවා. අපිට කොච්චර අගහිඟකම් තිබුණත් කාටවත් අත පාන්නේ නෑ. තුන් වේලටම මඤ්‍ෙඤාක්කා කාලා දරුවන්ගේ බඩ පිරෙව්වත් කාටවත් අතපාන්න යන්නේ නෑ.

වකුගඩු රෝගීන් ඉන්න පවුල්වලට ජනාධිපතිතුමා ගෙවල් දුන්නා. වකුගඩු රෝගීන් ඉන්න දිළිඳු පවුලක් කියලා අපිවත් තෝරගෙන තිබුණා. ඒ සල්ලිවලින් දැන් ඉඩමේ ගෙයකුත් හදලා තියෙන්නේ. ගේ හදාගන්න ගොඩක් දුක් වින්දා. ගඩොල් කැපුවා. ඉතින් දැන් අපිට යන්න කියනවා. ඡන්දය තිබුණු දවසේ (10දා) ග්‍රාම නිලධාරිතුමිය ඇවිල්ලා කොළයකට අස්සන් අරගෙන ඉක්මනට දරුවන් අරගෙන ඉඩමෙන් යන්න කිව්වා. අනේ අපි කොහේ යන්නද..? අපේ දුක කියන්න බදාදා (14දා) ප්‍රාදේශීය ලේකම්තුමිය මුණගැහෙන්න ගියා. ඒත් ග්‍රාම සේවක නෝනා යන්න දුන්නේ නෑ. ගොඩක් සැරෙන් කතා කරලා යන්න කිව්වා.

මම දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මගේ රත්තරං දරුවන් කොහේ අරගෙන යන්නද? ලොකු දුවට මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය. එක වසරෙ ඉගෙන ගන්න මගේ පොඩි දුව කියන්නේ එයා කවදා හරි නර්ස් නෝනා කෙනෙක් වෙනවා කියලා. ඇයි කියපුවාම අම්මයි ආච්චියි හොඳ කරන්න කියලා. එයා නර්ස් නෝනා කෙනෙක් විදියට ඇඳලා ගත්ත පොටෝ එකක් ගෙදර තියාගෙන ඉන්නවා. දුවලා දෙන්නා ඉගෙන ගන්න දක්ෂයි. හැමදාම ඉස්කෝලේ යනවා. අල්ලපු ඉඩමේ ඉස්කෝලේ තියෙන හින්දා දරුවන්ව ඉස්කෝලෙ යවන්න ලේසියි. මම ඉල්ලන්නේ අපිට මොනවත් එපා. ජීවත්වෙන්න මේ ඉඩම් කෑල්ල දෙන්න කියලා.
නිලක්ෂි වත්සලා දියණියගේ මිත්තණිය වන ටී.ජී.සීතා ප්‍රේමචන්ද්‍ර,

"මම වකුගඩු රෝගියෙක්. හැමදාම බෙහෙත් බොනවා. අද හෙට මැරෙයිද දන්නේ නෑ. මේ කිරි සප්පයන්ට අනාගතයක් ඕනි. වැටිලා ඉන්න මේ ඉඩම දෙන්න. පින් අයිති වෙයි. අපිට මොනවත් එපා"

පාසල අවසන් වී පැමිණි නිලක්ෂි වත්සලා දියණිය නිවෙස ඇතුළට ගොස් හෙදියක් වීමේ ඇගේ සිහින රුව සහිත ඡායාරූපය රැගෙන ‍ෙදාරකඩට පැමිණි පසු දුව නර්ස් කෙනෙක් වෙනවාදැයි අපි ඇසීමු. එවිට ඇය හිස සොලවමින් මුවින් අහිංසක සිනාවක් පෑවාය.
මෙම නිවෙස අවට පදිංචිකාරියක් වන එච්.එම්. මාලනි මැණිකේ,

"මේ පවුල අපේ ගමට ආදර්ශයක්. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. මේ ඉඩමෙන් යන්න කියන එක අසාධාරණයි. කිරිඔය ගමේ සමහර අය රජයේ ඉඩම් අක්කර විස්ස තිහ අල්ලගෙන ඉන්නවා. ඒ අයට ඉඩම් නීතිය නෑ. මේ ඉඩම්වල මැණික් ඉල්ලම් තියෙන නිසා මේ පවුල් අසරණ වෙලා.
මේ සම්බන්ධයෙන් ඇළහැර ප්‍රාදේශීය ලේකම් සෙනරත් මෙහොට්ටාලලාගේ කල්‍යාණවතී කුමාරිහාමි මහත්මියගෙන් ඊයේ (22දා) "මව්බිම" කළ විමසීමේදී "මම කාටවත් අසාධාරණයක් කරන්නේ නෑ. ඉඩම් පනතට පිටින් වැඩ කරන්නේ නෑ. මේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් ඉන්නවා. ඒ හැම කෙනෙක් ගැනම දන්නවා. ඒ නිසා මේ කරුණු ගැන මම පරීක්ෂා කරලා බලන්නම්" යැයි පැවැසුවාය.

ඉනාමළුවේ - තිලක විජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon