දියතලාවේදී බසයක් තුළ සිදුවූ පිපිරීම රටේ මහජන ආරක්ෂාව යළි ප්‍රශ්නකාරී වෙලා

  👤  4042 readers have read this article !
By mawbima 2018-02-23

කේ.එස්. උදයකුමාර්

දියතලාව ප්‍රදේශයේ බසයක් තුළ සිදු වූ පිපිරීමකින් යුද හමුදා සෙබළුන් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව සත්‍ය කරුණු ප්‍රකාශ කිරීම රජය විසින් වසන් කරමින් සිටීම නිසා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන්, වර්තමානයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

නඩු විභාගයක් සඳහා කොළඹ වාණිජ මහාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවලට අදහස් දක්වමින් වීරවංශ මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
මේ පිපිරීම බස්රථය තුළ අත්බෝම්බයක් පිපිරී යෑම නිසා ඇති වූ බව රජය විසින් ප්‍රකාශ කළත් ඒ පිළිබඳව ජනතාව තුළ දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. අත්බෝම්බයක් ඉබේ පුපුරා නොයන බව සඳහන් කළ වීරවංශ මන්ත්‍රිවරයා එහි කොපුව ගලවා යමකු පිපිරීමට සැලැස්සුවොත් පමණක් එම බෝම්බය පුපුරා යන බවද ඔහු පෙන්වා දුන්නේය. එවැනි තත්ත්වයක් මත පිපිරීමෙන් ඇති වූ විනාශය සැලකිල්ලට ගැනීමේදී එය අත්බෝම්බ පිපිරීමකින් වූයේ දැයි ප්‍රශ්නයක් මතුවන බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද එසේත් නැතිනම් වෙනත් කිසියම් කණ්ඩායමකගේ ක්‍රියාවක්ද? යන්න පැහැදිලි කිරීමට රජය අසමත් වී ඇතැයි ද විමල් වීරවංශ මන්ත්‍රිවරයා චෝදනා කළේය.

2015 වසරේ ජනවාරි මස 8 වැනිදා වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් ත්‍රස්තවාදය නිමකොට බස් බෝම්බ පිපිරීම් ඇතුළු සියලුම ආකාරයේ බෝම්බ පිපිරීම් සම්පූර්ණයෙන්ම නිමා කොට තිබූ බවත් යහපාලන රජය යටතේ දැනට වාර්තා වී ඇති පිපිරීමේ සිද්ධිය තුළින් රටේ මහජන ආරක්ෂාව නැවතත් ප්‍රශ්නගත තත්ත්වයකට ඇද වැටී ඇති බව වීරවංශ මන්ත්‍රිවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon