මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු ආවේ නැත්නම් දඩ ගහන්න

  👤  4207 readers have read this article !
By mawbima 2018-02-23

බොරලැස්ගමුව-නිඳුවර අබේසිංහ

ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කර හැර ඇති මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සභාවාරයකට සහභාගි වීම වෙනුවෙන් එක් වරකට රුපියල් දෙදහස් පන්සියයක මුදලක් ගෙවනවා. එසේ තිබියදී ඔවුන් කතානායකවරයාට දැනුම් නොදී පාර්ලිමේන්තු සභාවාරයකට නොපැමිණෙන්නේ නම් එදිනට ඔවුන්ගෙන් රුපියල් හත්දහස් පන්සියයක මුදලක් රජයට අය කර ගැනීමට නීති සම්පාදනය විය යුතු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ 'පාරිභෝගිකයා සුරැකීමට නම් රටවැසි අයිතිවාසිකම්ද සුරකිමු' යන මැයෙන් ඉකුත් 21දා එම සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය. "ජනතාව විසින් වසර පහකට වරක් මහ මැතිවරණයකදී මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවනු ලබන්නේ තමන් වෙනුවෙන් රටේ උත්තරීතර සභාව හමුවේ පෙනී සිට ජනතා මතය එහිදී පළ කිරීමටයි. ඒ සඳහා රුපියල් පනස්හතරදහස් දෙසිය අසූපහක මන්ත්‍රි වැටුපට අමතරව කාර්යාලීය දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද, එක සභාවාරයකට පැමිණීමේ දීමනාව ලෙස දිනකට රුපියල් දෙදහස් පන්සියයක මුදලක්ද රටේ ජනතා මුදලින් ගෙවනු ලබනවා. එසේම එදින සියලු මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු භෝජනාගාරයේ විශාල මුදලක් වැය කර ආහාර පිසිනවා. යම් මන්ත්‍රිවරයෙක් එදින පාර්ලිමේන්තු නොගියහොත් එම ආහාර ද්‍රව්‍යද අපතේ යෑමේ සම්භාවිතාවක් පවතිනවා. එසේම වායුසමනය වෙනුවෙන් සහ විදුලිය වෙනුවෙන් දිනකට විශාල මුදලක් වැය වෙනවා. ඒ අයුරින් තමයි පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වෙන දිනක් සඳහා රුපියල් ලක්ෂ හතළිස් පහක් වැය වෙන බවට ගණනය කර ඇත්තේ.

එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුවේ එක් සභාවාරයකට නොපැමිණීමෙන් රටේ මුදල් නාස්තිය සඳහා අනියම් අයුරින් ක්‍රියා කර ඇති බැවින් එලෙස පාර්ලිමේන්තු නොපැමිණීම පිළිබඳ කතානායකවරයාට පූර්ව දැනුම්දීමක් කර නැත්නම් එවන් එක් දිනක් සඳහා මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගි වීම වෙනුවෙන් ලබා ගන්නා මුදල මෙන් තුන් ගුණයක මුදලක් දඩමුදලක් ලෙස අය කර ගැනීමට රජය නීති සකස් කළ යුතු වෙනවා. මන්ද රජය ජනතාවට නීති පැනවීමට පෙර ජනතාව පැවරූ වගකීම් ඉටු නොකරන මන්ත්‍රිවරුන්ට එරෙහිව නීති පැනවිය යුතු වෙනවා. මන්ත්‍රිවරයා යනු ජනතා මුදලින් ආරක්ෂකයන් තබාගෙන සිටින නිවාස සඳහා රජයෙන් කුලී මුදලක්ද ලබා ගන්නා පිරිසක් වන බැවින් ඔවුන් පළමුව ජනතාවට ක්‍රියාවෙන් ආදර්ශයක් ලබා දිය යුතු වෙනවා. රටේ ජනතාවම කාගේ හෝ පාරිභෝගිකයකු බවට පත් වෙනවා. එම පාරිභෝගිකයාම රටේ පාලකයන්ගේ වැරැදි ක්‍රියා සහ අකාර්්‍යයක්ෂම මූල්‍ය පාලනය නිසා පීඩා විඳින්නේ නම් එයට එරෙහිවද හඬ නැඟීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මාස කිහිපයකට වරක් මන්ත්‍රිවරුන්ගේ නොපැමිණීම හේතුවෙන් ගණපූරණය නොමැති බව කියා පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීමට සිදු වෙනවා. එය රටේ තවත් මුදල් නාස්තියක් වන නිසාම අප සංවිධානයට ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා

එහිදී ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුව නම් උත්තරීතර සභාවට පත්ව පැමිණ එහි ගෞරවය සුරැකෙන අයුරින් නියමිත පරිදි එහි සභාවාරයන්ට යම් මන්ත්‍රිවරයකු සහභාගි නොවන්නේ නම් නීති මඟින් හෝ එම මන්ත්‍රිවරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු වෙනවා. මන්ද රටේ පරමාධිපත්‍ය බලය හිමි වන්නේ ජනතාවටයි. එකී පරමාධිපත්‍ය බලයට නිගා වන අයුරින් යමෙක් ක්‍රියා කරන්නේ නම් ඔහු හෝ ඇය නීතියක් මඟින් පාලනයට ලක් කර ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් එය ශේ‍ර්ෂ්ඨ ක්‍රියාවක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඇතුළු දේශපාලකයන් ජනතා සේවකයන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය විග්‍රහ කිරීමේදී හඳුන්වන්නේ නම් රටේ නීති සකස් කිරීමේදී රටේ පවතින නීතියට පිටුපා කටයුතු කරනා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වුව පාලනය කිරීමට නීති සම්පාදනය කිරීම යහපාලනයක පරමාර්ථය විය යුතුයි.
මෙම මාධ්‍ය හමුවට එම සංවිධානයේ නීති උපදේශක නීතිඥ විකුම් බස්නායක සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon