ලංකා ගුරු සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

  👤  3931 readers have read this article !
By mawbima 2018-02-23

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

පාසල් සිසුන් උදෙසා පැවැත්වූ පහන් තක්ෂිලාව වැඩසටහන්වලට වැය කළ බව පවසමින් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බුද්ධ ධර්ම හා සාරධර්ම
විෂයය සහකාර අධ්‍යක්ෂවරයාගේ සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීම උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරිය පැහැර හරිමින් සිටින බව පවසමින් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (22දා) ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ අස්සනින් යුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමුකර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් මෙසේද සඳහන්ය.

රුපියල් විසි ලක්ෂයේ මේ මූල්‍ය වංචාවට සම්බන්ධ බවට චෝදනා ලබා සිටින බුද්ධ ධර්ම හා සාරධර්ම විෂයය අධ්‍යක්ෂවරයාගෙන් රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ අය කරගෙන එම මූල්‍ය චෝදනාවලින් ඔහු නිදහස් කර මේ මූල්‍ය වංචාව යට ගැසීමට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරිය මෙන්ම සෙසු අධ්‍යාපන බලධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටින බවට පැහැදිලි තොරතුරු ලැබී තිබේ.
පහන් තක්ෂිලාව වැඩසටහන මුවාවෙන් රුපියල් විසි ලක්ෂයක වංචාවක් සිදුකර ඇති බවට තහවුරු වී ඇත්තේ උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මාස හයකට අදාළව සිදුකළ විගණනයකදීය.

මේ වංචාවට අදාළව චෝදනා ලබා සිටින විෂය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් උතුරු මැද ප්‍රධාන ලේකම්වරයා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරිය සහ අධ්‍යාපන බලධාරීන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි ගැටලුවකි.
2008 වසරේ සිට 2014 වසර දක්වාද මෙවැනි වැඩසටහන් උතුරු මැද පළාතේ පාසල් ආවරණය වන පරිදි සිදුකර ඇත. එහිදීද රුපියල් කෝටි ගණනක් මේ ආකාරයෙන්ම වංචා කර ඇති බවට කිසිදු සැකයක් නැත.

2008 වසරේ සිට 2014 වසර දක්වාද සිදුකර ඇති මේ වැඩසටහන් සඳහා මුදල් වැය කර ඇති ආකාරය පිළිබඳවද නොපමාව විගණනය කළ යුතුව තිබේ. මේ වංචාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති විමර්ශන වාර්තාව අඩුපාඩු සහිත වුවද එම වාර්තාවෙන් ලබාදී ඇති උපමානයන් පදනම් කර ගෙන අදාළ විෂය අධ්‍යක්ෂවරයාගේ සේවය අත්හිටුවා විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

එමෙන්ම පහන් තක්ෂිලාව වැඩසටහන් මුවාවෙන් වසර හයකට ආසන්න කාලයක් සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන්ද විධිමත් විමර්ශනයක් මෙහෙයවා රජයට සිදුකර ඇති නිශ්චිත මූල්‍ය වංචාව හා අලාභය තක්සේරු කරන ලෙසද ප්‍රනාන්දු මහතා සිය පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ. එමෙන්ම රජයේ මුදල් වංචා කළ බුද්ධධර්ම හා සාරධර්ම විෂය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම උතුරු මැද ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් පැහැර හැරීම පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසද අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon