අවුරුදු තුනක් තිස්සේ බෙදුම්වාදීන්ට කිරි පෙව්ව එකේ ප්‍රතිඵලයද දන්නේ නෑ බණ්ඩාරවෙලින් ලැබුණේ

  👤  4023 readers have read this article !
By mawbima 2018-02-23

මේ වනවිට ආණ්ඩුව ලක ලැහැස්ති වෙන්නේ හවුල් ආණ්ඩුව තුළ යම්කිසි ප්‍රතිසංස්කරණයක් වූවා යැයි ලොවට පෙන්වීමට කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට වුවත් එය හරියට මහලු ගණිකාවකට පවුඩර් දමා ඇය කන්‍යාවියක යැයි පෙන්වීමට දරන උත්සාහයක් බඳු මවා පෑමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුස්ම්මිල් මහතා පැවැසීය.

ඔහු එසේ පැවසුවේ ඊයේ (22දා) ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
''අවුරුදු 3කින් මේ රට දැවැන්ත විනාශයකට අරන් ගියේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මේ කැබිනට් මණ්ඩලයමයි. රටේ ජාතික සම්පත් විකුණුවා, ඩොලරය රුපියල් 130-157 දක්වා ගෙනාවා, හාල් කිලෝව රුපියල් 60-120 දක්වා ගෙනවා. පොල් ගෙඩිය රුපියල් 45-120 දක්වා ගෙනාවා. එහෙම කරලා ඔවුන් ජනතාවට දැවැන්ත ජීවන බරක් පැටෙව්වා.

ඒ වගේම රට දැවැන්ත ලෙස ආර්ථික පැත්තෙන් අස්ථාවර කරලා අද ජාත්‍යන්තරය අපේ රටට ණය නොදෙන තැනකටයි පත් වෙමින් තිබෙන්නේ. රටේ ණය බර 72%-83% දක්වා මේ වනවිට වැඩිවෙලා.

හො¼දටම පැහැදිලියි. ඔවුන් මේ හවුල දිගටම පත්වාගෙන යන්නේ රටේ ජාතික සම්පත් කොල්ලකාලා රට දෙකඩ කරන සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි කියන එක.
මොකද අපි ඡන්දෙ කාලෙදිත් පැහැදිලිව කිව්වා ඡන්ද වෙනුවෙන් මොවුන් මේ කරන්නේ රඟපෑමක් කියලා.
පසුගියදා (21දා) පාර්ලිමේන්තුවේදී අගමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරත් එකතුවෙලා හවුල ඉදිරියට ගෙනයන බව ප්‍රකාශ කරලා 'අපි තරහයි' නාට්‍ය රඟ දක්වලා ඉවරයි බව පෙන්නුවා. දැන් පටන් අරගෙන තියෙන්නේ 'අඹ යහළුවෝ' චිත්‍රපටයයි.
මේ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ල.නි.ප.ය හෝ කිසිවිටකත් හවුලකට යනවා කියලා ඡන්දේ ඉල්ලුවේ නෑ. ඔවුන් ඒ කාලේ කිව්වේ අපි යූ.ඇන්.පී. ආණ්ඩුවට විරුද්ධයි. අපි තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා කියලා. ඒ නිසා මේ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රී ල.නි.ප.යට ලැබුණු 13% ප්‍රතිශතය පැහැදිලිවම එ.ජා.ප.යට විරුද්ධව ලැබුණු ඡන්ද. දැන් ඔවුන් තමන්ට ලැබුණු ජනමතයට පිටුපාලා අලියගේ වල්ගෙ එල්ලිලා යනවා. මේකද මොවුන් ජනතාවට ලබාදුන් පොරොන්දුව.

මේ මැතිවරණය නිමා වී සති දෙකකට ආසන්න කාලයක්. නමුත් මැතිවරණ කොමිසමේ සභාපති තවමත් අසමත් වෙලා තියෙනවා අවසන් ප්‍රතිඵලය නිකුත් කර ගන්න. මේ ගැන ජනතාව අතරත් සැකසංකා මතුවෙමින් පවතිනවා. මොකද? ඡන්ද ප්‍රතිඵල නිකුත් කරද්දීත් මැතිවරණ කොමිෂන් සභාව වගකීමෙන් කටයුතු කළේ නැහැ. මාධ්‍යවලට නිකුත් කළ ප්‍රතිඵල පවා විශාල දෝෂ සහිතවයි නිකුත් වුණේ.

ඒ වගේම යුද්ධය කාලෙදි තමයි බස්වල බෝම්බ පිපිරීම් වැනි අමිහිරි දේට අපට මුහුණ දෙන්න සිදුවුණේ. නමුත් ප්‍රභාකරන් මිය ගිහින් අවුරුදු 9කට පස්සේ අවාසනාවන්ත ලෙස

පළමු වතාවටයි බස් එකක බෝම්බයක් පිපිරුණේ. සිද්ධිය වෙලා පැය කිහිපයක් යන්නටත් කලින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා මේක ගේ‍රනේඩ් එකකින් සිදුවුණු පිපිරීමක් විනා ත්‍රස්ත ක්‍රියාවක් නෙමෙයි කියලා. එහෙම කියන්නේ කොහොමද කියලා මාධ්‍යවේදියකු ඔහුගෙන් නඟන ප්‍රශ්නයට ඔහු දීපු පිළිතුර තමයි ඒක ත්‍රස්ත ක්‍රියාවක් යැයි කිව්වොත් ජනතාව බිය වෙයි කියන එක. ඉස්සර නම් පාර්සලයක් තිබුණොත් බෝම්බයක් විය හැකියි අවධානයෙන් ඉන්න කියා දැනුවත් කළා. ජනතාව සවිඥානිකව තබලයි මේ රට එදා ආරක්‍ෂා කළේ.

දැන් බෝම්බයක් කිව්වොත් මිනිස්සු බය වෙයි කියලා හැබෑ තත්ත්වය හංගන්න හදනවා. අවුරුදු 3ක් තිස්සේ බෙදුම්වාදයට කිරි පෙව්ව එකේ අස්වැන්නද දන්නෑ මේ ලැබෙන්නේ. තාමත් සාලාව පිපිරීමේ වාර්තාව ජනතාව අතට පත්වුණේ නෑ. සාලාව අදටත් විවිධ කටකතාවලට ඉඩ තියලා තියෙන්නේ. ඉතින් මේ පිපිරීම ගැනවත් නිවැරැදි පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි.

ඒ වගේම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව අද ආණ්ඩුවේ ක්‍රියාවලින් ඉටුවෙනවා කියලා හොඳටම පැහැදිලියි. දෙමළ ඩයස්පෝරාවට ඕන වුණේ බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව එංගලන්තෙන් පන්නා දමන්න. අද ආණ්ඩුව ඒ වුවමනාව නියමෙටම ඉෂ්ට සිද්ධ කරලා ඔහුව ලංකාවට ගෙනත් තියෙනවා. ඒකෙන්ම පැහැදිලියි මේ ආණ්ඩුව කොටි ඉදිරියේ නැවෙන ආණ්ඩුවක් කියලා.
මේ වනවිට රටේ එක් ආන්දෝලනාත්මක සිදුවීමක් තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නාළිකාවක් හා එහි සංඛ්‍යාතත්, ඒ සමාගමේ මූල්‍ය ආයතනයත් ලයිකා මොබයිල් සමාගමට දීමට යෑම.

රටේ නීතිය හැටියට නම් රටේ සංඛ්‍යාත උපරිම 40%යි විදේශයකට දිය හැක්කේ. ඒ නිසා එය නීතිය අනුවත් වැරැදියි. ඒ වගේම මේ සමාගම ජාත්‍යන්තරව අපකීර්තියට පත්වුණු සමාගමක්.

මෙය වක්‍රාකාරයෙන් ඩයස්පෝරාවේ මුදල්වලට ලංකාවේ මාධ්‍ය ආයතන, මූල්‍ය ආයතන මිලට ගැනීමට ලබාදෙන අවස්ථාවක්.
හර්ෂණී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon