යුද්ධයෙන් පසු වැඩිපුරම ජීවිත හානි සිදුවන්නේ රිය අනතුරුවලින්

  👤  3953 readers have read this article !
By mawbima 2018-02-23

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

උතුරු පළාතේ යාපනය ප්‍රදේශය මූලික කරගනිමින් රිය අනතුරු අවම කරගැනීම සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල රියැදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21දා) යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
යාපනය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා එහිදී පුළුල් තිරයක් ආධාරයෙන් සාරාංශ ගත කර පෙන්නුම් කරමින් කියා සිටියේ රිය අනතුරු වැඩි වශයෙන් සිදු වන්නේ රියැදුරන්ගේ නොසැලකිලිමත්කම නිසා බවත් රිය ධාවනයේදී මනා අවබෝධයකින් යුතුව රිය ධාවනය සිදු කළ යුතු බවටයි.
එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ,
මේ කාලයේ සියලු දේ අධික වේගයෙන් සිදුකරන්න පෙලඹෙනවා. සංගීතය ගත්තත් අධිවේගීයි. ආහාර අනුභව කරන්නෙත් අධි වේගයෙන්. ගමන් බිමන් යන්නෙත් අධි වේගයෙන්. මේ සියලු දේ කරන්නෙ අධි වේගයෙන්. ඔබත් ඔබේ වාහන පදවන්නේ අධික වේගයකින්. ඔබ අධික වේගයකින් වාහන පදවන විට එයින් ඔබත් විපතට පත් වෙනවා වගේම මාවතේ ගමන් කරන තවත් මනුෂ්‍යයකුගේ ජීවිතද නිකරුණේ අහිමි වී යනවා. ඒ මොහොතේ ඔබේ හිතට දුකක් දැනෙනවා. ඒක යථාර්ථයක්. එහෙම කෙනකුගේ හිතට දුකක් දැනෙන්නේ නැත්නම් ඔහු මනුෂ්‍යයෙක් නොවේ. පවුලක පියා මියගියොත් එම පවුලේ තත්ත්වය ගැන සිතන්න. ඒ පවුලේ අය කොතරම් වේදනාවට පත් වෙනවාද? ඒ වගේම ඔවුන් කොතරම් අසරණ වෙනවද?

ඉදිරියෙන් එන පුද්ගලයා පමණක් නොව ඔබේ වාහනය ඇතුළත සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමද ඔබේ වගකීමක්. පෙර පැවැති යුද්ධය නිසා විශාල ජීවිත හානියක් සිදුවුණා. යුද්ධයෙන් පසු දැන් ඊටත් වැඩියෙන් ජීවිත හානි සිදුවන්නේ මේ මාර්ග අනතුරු නිසා. මේ අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි, රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය අංශයේ සියලුම රියැදුරෝද සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon