දියතලාවේ පුපුරපු රටම හොල්ලපු බෝම්බය මොකද්ද?

  👤  3496 readers have read this article !
By mawbima 2018-02-25

දිනය 2018 පෙබරවාරි 21 වැනිදාය. වේලාව උදෑසන 5.45ට පමණය. බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ දියතලාව හෙබරව බස් රථය කහගොල්ල ප්‍රදේශයේදී පිපිරීමකට ලක්වී ගිනිබත් වීම සීතල දියතලාව උණුසුම් කරන සිද්ධියක් වී ඇත. යුද සමයේදී හෝ පිපිරීමක් නොවූ මෙම ප්‍රදේශයේ සිදුවූ මෙම පිපිරීම සියල්ල වික්ෂිප්ත කර තිබේ.

යාපනයේ සිට නුවරඑළිය හරහා බණ්ඩාරවෙලට පැමිණෙන බස් රථය දෛනිකව බණ්ඩාරවෙල මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණෙන්නේ අලුයම පහට පමණය. මෙම බසයෙන් පැමිණි හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් 20 දෙනකු පමණ පිපිරීමට ලක්වූ දියතලාව බසයට නැඟ ඇත්තේ බණ්ඩාරවෙල නගර මධ්‍යයේදීය. බසයට ගොඩවූවන් දියතලාව හා ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ය. අනෙක් පිරිස දියතලාව හමුදා කඳවුරුවලට අනුයුක්තව සේවය කරන හමුදා සාමාජිකයන්ය.

බස් රථය පෙරවරු 5.20ට බණ්ඩාරවෙලින් ගමන් ආරම්භ කළේය. බස් රථය 5.45ට පමණ කහගොල්ල ප්‍රදේශයට ළඟාවීමත් සමඟම විශාල පිපිරීමක් බසය තුළ සිදුවූයේ අනපේක්ෂිතවය. පිපිරීමෙන් කිසිවකුට හෝ ජීවිත හානි සිදුනොවූවත් කාන්තාවන් දෙදෙනකු ඇතුළු 7 දෙනකුත් හමුදා සාමාජිකයන් 12 දෙනකුත් තුවාල ලැබූහ.

මෙම හමුදා සාමාජිකයන් ‍ෙදාළොස්දෙනා අතර යුද හමුදා සාමාජිකයන් 7 දෙනකුත් ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනකුත් වූ අතර මොවුන් දියතලාව හා ඒ ආසන්න හමුදා කඳවුරුවලට අනුයුක්තව සේවය කරන පුද්ගලයන් යැයි පොලිසිය කීවේය. පිපිරීමෙන් බස් රථය මුළුමනින්ම ගිනිබත් වී විනාශ විය.

ඇත්තෙන්ම මේ පිපිරීම සිදුවූයේ කෙසේද..? මෙය බසයේ කාර්මික දෝෂයක් නිසාවෙන් සිදුවූවාද..? එවන් දෝෂයකින්වන් මෙවන් විශාල පිපිරීමක් සිදුවන්නේ කෙසේද? මේ පිළිබඳව කතිකාව පොලිස් පරීක්ෂණ මඟින් ලත් තැන ලොප් කළේය. පොලිසිය වහාම පරීක්ෂණයක් පැවැත්වූයේය. පෙරවරු 10 වනවිටම පොලිසිය කීවේ මේ පුපුරා ගියේ හමුදා සාමාජිකයෙක් විසින් රැගෙන ආ ගේ‍රනේඩ් බෝම්බයක් බවය. එය හඳුනාගත් බවත් කීවේය. ඔවුන්ගේ මූලික විමර්ශන ප්‍රකාරව බෝම්බය උතුරු කරේ සිට පැමිණි යුද හමුදා සාමාජිකයකු විසින් ගෙනා එකකි. පොලිසිය කියන ආකාරයට මෙම බෝම්බය මෙකී හමුදා සාමාජිකයා විසින් ගමන් මල්ලේ සූක්ෂ්ම ලෙස සඟවා එම ගමන් මල්ල බසයේ රාක්කයේ අසුරා තබා ඇත. බෝම්බය අසුරා තිබූ මල්ල රාක්කයෙන් බිමට වැටීමත් සමඟම මෙම පිපිරීම සිදුව තිබේ.

බෝම්බය ගෙනා සෙබළාත් සොයාගෙන
පිපිරුණු බසයේ රියැදුරු මහතාගේ ප්‍රකාශයත් තුවාල ලැබූ මගීන් කරන ලද ප්‍රකාශත් පදනම් කරගනිමින් මෙම බෝම්බය ගෙන ආ හමුදා සාමාජිකයා කවුරුන්ද යන්න පොලිසිය විසින් සොයාගත් බව කීවේය. මෙම පිපිරීමෙන් බරපතළම තුවාල සිදුව පාදයක් අහිමි වී ඇත්තේද එකී හමුදා සාමාජිකයාගේ බව පොලිසියේ සැකයය. ඔහු ගමන් කර ඇත්තේ බසයේ රියැදුරු අසුනට ආසන කිහිපයක් පිටුපසින් වන ආසනයකය. පිපිරීම සිදුව ඇත්තේද එම ස්ථානයේදීය. එම පිපිරීමෙන් බරපතළම තුවාල ලැබුවේද මොහුය. උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර සිටියේ කඩිනමින් මෙම හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවය.
රස පරීක්ෂක වාර්තාව

සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද දියතලාවට පැමිණ විමර්ශන සිදුකළේය. ඔවුන් අනාවරණය කරගත්තෙත් මෙම බසය තුළ අත්බෝම්බයක් පුපුරා ගොස් ඇති බවය.

කෙසේ වෙතත් මෙම අත්බෝම්බය හමුදා කඳවුරකින් සොරාගෙන ඇති නම් මේ වනවිටත් හමුදාවට ඒ ගැන තොරතුරු ලැබිය යුතුය. හමුදාවේ යම් ආයුධයක් අස්ථානගත වන්නේ නම් එම ආයුධය හෝ මෙවලම පිපිරීමෙන් පසුත් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් හමුදාව තුළ තිබෙන නිසාය. වාර්තා වන ආකාරයට මෙම බෝම්බය හමුදාවෙන් අස්ථානගත වූවක් නොවේ. එසේනම් පොලිසිය සැක කරන්නේ බෝම්බය කිසියම් බාහිර පුද්ගලයකුගෙන් ලබාගත්තක් විය හැකි බවය. හමුදාව දරන්නෙත් ඒ මතයය.

සැකයට තුඩු දෙන තවත් සිද්ධියක්
මේ අතර සැකයට තුඩුදුන් තවත් සිද්ධියක් විය. එනම් මෙම අනතුර සිදුවූ අවස්ථාවේ බසයේ සිටි තුවාල ලැබූ මගියකු රෝහල් ගතවී ටිකට්ටුවද සමඟින් නිවෙස්ගත වීමය. එම පුද්ගලයා නැවතත් පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රෝහලට පැමිණියේය. ඒ පොලිසිය විසින් කැඳවීම නිසාය.

මේ තැනැත්තා පුදුකුඩිඉරිප්පු කනකනාරයන්හි අවන්හලක සුරාසැල් පාලක (බාර් කීපර්) ලෙස සේවය කරන්නෙකි. ඔහු හපුතලේ ගල්කන්දවත්ත ප්‍රදේශයේ පදිංචි ආවන් ශෂිකුමාර් නමැති පුද්ගලයෙකි. ඔහුගේ නික්ම යෑම සැකයට තුඩුදුන් හේතුවක් වූ නිසා දියතලාව පොලිසියේ නිලධාරීහු ඔහුව නැවතත් රෝහල වෙත කැඳවනු ලැබූහ. එහෙත් විමර්ශනවලදී මොහු මෙකී සිද්ධියට සම්බන්ධයක් නැතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම පිපිරීමෙන් වඩාත් කම්පනයට පත්වූ තැනැත්තා බසය පැදවූ රියැදුරුය. ඔහු ජේ.එම්.පී. බණ්ඩාරය. සිද්ධිය ඔහු ආවර්ජනය කරන්නේ මේ අයුරිනි.
''මම ඩ්‍රයිවින් කරන් ආවා. බස් එක දියතලාව සිට හෙබරව දක්වායි ධාවනය කරන්නේ. බණ්ඩාරවෙල සිට දියතලාවට ගොස් එහි සිට නැවතත් බණ්ඩාරවෙල බදුල්ල, මහියංගණය හරහා හෙබරවට දෛනිකව ධාවනය කරනවා. පසුගිය 21 වැනිදා යාපනයේ සිට බණ්ඩාරවෙලට පැමිණෙන බස් රථයෙන් පැමිණෙන මගීනුත් දාගෙන අපි 05.20ට දියතලාවට ගමන් ඇරැඹුවා. බස් එකේ ලොකු සෙනඟක් හිටියේ නැහැ. උදෑසන 5.45ට විතර කහගොල්ලට ළඟාවෙනවාත් එක්කම රියැදුරු අසුනේ සිට පිටුපසට තිබෙන තුන්වැනි අසුන ළඟින් ඩෝං ගාලා ලොකු සද්දයක් එක්ක පිපිරීමක් සිද්ධ වුණා. ඒ සමඟම බස් රථය ගිනි ගත්තා.

පිපිරීමෙන් මට අනතුරක් සිදුවුණේ නෑ. මම කඩිනමින් බසයෙන් එළියට පැනලා ප්‍රදේශවාසීන්ගේත් සහාය ගෙන බසයේ තුවාල වී සිටි මගීන් බේරාගෙන රෝහල වෙත ගෙන යන්න කටයුතු කළා. ප්‍රදේශවාසීන්ද විගසින් පැමිණ තුවාලකරුවන් රෝහලට ගෙන යන්න කටයුතු කළා. ඒත් පිපිරුණේ මොකක්ද කියලා මට තවම හිතාගන්න බෑ'' ඔහු කීය.

දියතලාව ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි හේමවතී සිදුවූ පිපිරීම ගැන සිහි කළාය.
''මම රථයේ ගමන් කරමිනුයි සිටියේ. එකපාරම බෝම්බයක් වගේ ලොකු පිපිරීමක් සිද්ධ වුණා. මට හිතාගන්න බැරිවුණා මේ මොනාද වුණේ කියලා. පිපිරීමත් එක්කලම මගේ කකුලට වේදනාවක් ආවා. ඒත් එක්කම බස් රථය ගිනි ගත්තා. මම අමාරුවෙන් බසයෙන් එළියට පැන ගත්තා. ඒ අවස්ථාවේදී මම බිම වැටුණා. පස්සේ එතැනට ආව අය මාව දියතලාව මූලික රෝහල වෙත ගෙන ගියා''

මේ සම්බන්ධයෙන් දියතලාව මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් කතා කළේය.
''දියතලාව කහගොල්ල පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ 19දෙනා අතුරින් 11 දෙනකුම ප්‍රතිකාර ලබා පිටව ගොස් සිටිනවා. මේ වනවිට රෝගීන් 08 දෙනකු නේවාසිකව තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඔවුන් අතර යුද හමුදාවේ පස් දෙනකුත් ගුවන් හමුදාවේ දෙදෙනකුත්, සාමාන්‍ය සිවිල් වැසියෙකුත් සිටිනවා. මොවුන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතිනවා.

එක් යුද හමුදා සාමාජිකයකුගේ පාදයක කොටසක් ඉවත් කර තිබෙනවා. තවත් යුද හමුදා සාමාජිකයකුගේ උදරයේ සැත්කමක් කරලා තියෙනවා. මොවුන් මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මේ අනතුරින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන්න රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලොකු කැපවීමක් කළා. ඒ ගැනද සඳහන් කරන්න කැමැතියි.''

පිපිරීම සම්බන්ධයෙන් ඇතිවන සංවාදය තවම නැවතී නැත. පොලිසිය සිතා ගත නොහැකි කාර්යක්‍ෂමතාවකින් යුතුව නිගමනය දෙමින් හිඳී. එහෙත් හෑන්ඩ් ගේ‍රනෙඩ් වර්ගයේ බෝම්බයක් පුපුරා මෙවැනි ගින්නක් සහිත පිපිරීමක් ඇතිවිය නොහැකි බව පුපුරන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රාමාණිකයෝ පවසති. හෑන්ඩ් ගේ‍රනේඩයක් පුපුරා යෑමේදී විසිවන ඊයම් කැබලි ශරීරවල තිබුණා දැයි විමසීමෙන්ම මූලික නිගමනයකට එළැඹිය හැකි බව කියති. සී4 වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුවන පිපිරීමක ලක්‍ෂණ ඔවුහු නිරීක්‍ෂණය කරති. බිම වැටෙන විට පුපුරන හෑන්ඩ් ගේ‍රනේඩ් ලොවෙත් නැති බව පවසති.

සොයාගත යුතු බොහෝ දේ ශේෂව තිබේ. නිවැරැදිව සොයා ගත යුත්තේ සිද්ධියේ ත්‍රාසය නොව, මේ පිපිරීම තෙක් වර්ධනය වූ ක්‍රියාවලියේ ස්වරූපයය. පිපිරීමෙන් ලබා ගත හැකි අලජ්ජී දේශපාලන වාසිය නොව, රට දේශපාලනිකව අස්ථාවරව ඇති මොහොතක ඇතිවන මෙවැනි සිද්ධි ජාතියක් ලෙස විමසිය යුත්තේ කෙසේද කියාය.
පිපිරීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් පරීක්‍ෂණ අරම්භ කර ඇතැයි පැවැසේ. පොලිස් විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ දියතලාව පොලිසිය මේ විමර්ශන සිදුකරන අතර යුද හමුදාපතිවරයා විසින් සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ. මීට අමතරව උෟව හා මධ්‍යම යුද හමුදා ආඥාපතිවරයාගේ උපදෙස් මත යුද හමුදා පොලිසියද විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර මෙහි සුලමුල ඉදිරි දින කිහිපය තුළ අනාවරණය වනු ඇති බව ආරක්‍ෂක අංශ කියයි.

බදුල්ල-ඒ.අයි. හසන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon