ආණ්ඩුව මාසයක් කල් ගත්තේ සුබ ග්‍රහයෙක් ලබන කල්ද?

  👤  3246 readers have read this article !
By mawbima 2018-02-25

ලග්නයෙන් එකොළොස් වැන්නේ ශනි යන එක සුබය කියලා පොදු මතයක් තියෙනවා. නමුත් කුම්භ ලග්න
ශ්‍රී ලංකාවේ ශනි 11 වැන්නේ ගිය කවදාවත් හොඳක් වෙලා නැහැ. 58-59 කාලේ බණ්ඩාරනායක මහත්තය නොමරා මැරූ ස්ට්‍රයික් තිබුණා. බණ්ඩාරනායක මරණය නිසා සඟරුවනට පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් තිබුණා. කැලණි විහාරේ නායක හාමුදුරුවෝ ඒ නඩුවටත් පැටලුණා. ආර්ථික වශයෙන් විශාල පිරිහීමක් වුණා. රෑ හිටපු ඇමැතිවරු උදේ බලන කොට නිකම්ම මන්ත්‍රිවරු කරල තිබුණා. ධනුවෙ ශනි යද්දී වුණේ මහ පුදුම දේවල්. ආණ්ඩුව නිල කාලෙට පළමුව විසුරුවා. මේවා මතක් කළේ දැනුත් ශනි ධනුවෙ යන නිසා ඔබලට යමක් හිතාගන්න.

ශනි ධනුවෙ යන කොට කිසිම දෙයක් දැන් කරන ගතිය අඩුයි. කල්දාන එකම තමයි සිරිත. කිසිම තීරණයක් වහා ගන්න බැරි ග්‍රහ පිහිටීමක්. කරනවාට වඩා හිතනවා වැඩියි.
සාමාන්‍ය ජනතාවට වඩා රටක පාලකයන්ට මේ තත්ත්වය ගොඩක් බලපානවා. පහසුවෙන් විසඳිය හැකි දේවල් ඇදි ඇදී තියෙනවා. ශනි ධනුවෙ යන එක හවුලේ වැඩට කිසිම සුගතියක් නැහැ. කොහොමත් කතාවක් තියෙනවනෙ හවුලේ කැඳත් එපා කියලා.

මේ හවුලේ කැඳ එපා කියන ග්‍රහ චාරය 2020 ජනවාරි 26 දක්වා තියෙනවා. 2018 වසර පුරාම ශ්‍රී ලංකා කේන්දරයේ නව වැන්න හෙවත් පුණ්‍යස්ථානය අධිපති සිකුරු හැම ග්‍රහ යුද්ධයෙන්ම පරදිනවා. සැපයට අධිපති සිකුරුගේ පරාජය අපේ රටට ඉතා නරකට බලපානවා. මිනිසුන්ට වතුර පෙවෙන්නැති කාලයක් උදාවෙනවා.
ශනි ගමනත් නරකට හිටපු, පුණ්‍යස්ථානය අධිපති පැරදී අසරණව සිටින වසරක වසර මැදත් ජූලි 20 පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් හා අගෝස්තු 21 අර්ධ සූර්ය ග්‍රහණයක් සිදු වන්නේ මකර, කටක, කුම්භ රාශි ආශ්‍රිතව වීමත් ගහෙන් වටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තත්ත්වයක් ඇති කරයි.

ධනු රාශියේ සිටින ගුරු මාර්තු 9 වැනිදා වක්‍ර වීමක් සිදුවේ. මේ නිසා පවතින විසම ග්‍රහචාරය සෙම්ප්‍රතිශ්‍යාකාරයට නියුමෝනියාව වැලඳෙන අන්දමේ අවාසනාවක් පෙන්වයි.
පොදුවේ ගත්කල 2018 වසර උදාවූයේ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක අසුබ විපාක සමඟ කුජගේ නැකතක් සමඟ බැවින් මේ වසරේ වැඩ කරනවාට වඩා කතා කරනවා වැඩි වසරකි. කිසිම දෙයක් ඉක්මන්වීම අඩුය.

රටකට නරක කාලය උදාවන විට හොඳම දෙය ලැබෙන්නේ නැත. ධ්ඊව් ගිරය වැඩසටහනේදී අච්චාරු ආණ්ඩුවක් එන බව මා කීවා ඔබට මතක ඇතැයි සිතමි. මේ සිදුවන්නේ ඒ අච්චාරු වැඩය. පළාත් පාලනයත් අච්චාරු වන අයුරු ඔබට ඉදිරි කාලේ දැකගත හැකිය.

නරක අලගොඩෙන් හොඳ අල හොයන්නා සේ නරක කාල පන්නා කටයුතු කිරීමට දේශපාලකයන්ට යම් යම් අය උපදෙස් දෙන බව මමත් දනිමි. නමුත් මාසයක් පන්නා හොඳ කාලයක් සෙව්වත් මාර්තු 7 වැනිදා කුජ-ශනි ධනුවේදී යළි එක්වූ පසු මීට වඩා නරක නපුර රජකරන බැවින් මේ වසරේ හොඳ කාල සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු බව පාඨක ඔබට දන්වමි.

යකඩ දාච්ච ගෙයි පුළුන් සොයන්නා සේ ප්‍රශ්න කාලයට විසඳීමට ඉඩ හරින අයට නම් මේ වසර කල්වැරීම ඇඟට ගුණවිය හැකිය. 2018 ප්‍රශ්න අවුල් කරන මනසක් පාලකයන්ට මෙන්ම ජනතාවටත් ඇති කරන බැවින් අතීසාරයට අමුඩ සොයන අය බහුල විය හැකිය. මේ වසර මිනිසාගේ මනස අවුල් කරන අතර නිවැරැදි දේ සොයා හඹා යන ගතියත් වර්ධනය කරයි.

සැපයට අධිපති දුබලව සිටින වසර පුරාම සතුට ලැබීම උගහටය.
ජීවන වියදම ඉහළයෑම, ආදායම් පහත වැටීම, සමාජ නොසන්සුන්තා, අප්‍රසන්න දේ අසන්න දකින්න ලැබීම ඒ අතර මුලට සිටී.
එකමුතුවට පහර වදින ග්‍රහ රටාවක් පවතින කාලයක හවුල් ආණ්ඩුවලටත් පැවැත්ම දුෂ්කර වනු ඇත. අප්‍රේල් අවසන් වනතුරු මීන ලග්න අගමැතිතුමාට ජන්ම ඒරාෂ්ටක බැවින් ඉදිරියටත් අතුරේ ගමන අනාරක්‍ෂිතව පවතී. එතුමාගේ දසවැන්නට මාර්තු 7 වැනිදා සිට කුජ-ශනි සංයෝගයක්ද යෙදේ. ශරීර සනීපයටත් තනතුරටත් හොඳක් නොමැති බැවින් දුරදිග බලා තීරණ ගැනීම යහපත් විය හැකිය. ජනාධිපතිතුමාට යහපත් තත්ත්වයක්
පෙනුණත් කතා අඩුකර වැඩට බැස්සොත් වඩා යහපත් වනු ඇත.

දැන් රටට යෙදී ඇත්තේ හැමදේම කල්දාන අදහස් සිතට එන ග්‍රහචාරයක් නිසා කොයි කවුරුත් වැඩ කල්දාන එක අපට නම් සාමාන්‍ය දෙයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon