සුචි විදුහලේ විදුහල්පතිය නොඑන ගමන් යැවූ පෞරුෂ වර්ධන මාරක පුහුණුව

  👤  3295 readers have read this article !
By mawbima 2018-02-25

ගලා යන්නේ මහා කඳුළු ගංගාවකි. දියණියන් සිවුදෙනකුගේ නොව පරපුරක මවක් බව ඇය ඇයගේ මරණ මොහොතේදී අපට කියාදී තිබුණාය. දියණිවරු පරයා වැළපෙන්නේ සුචි ජාතික පාසලේ දරු දැරියෝය. ඔවුන්ට ඔවුන්ගේම අම්මා නැති වූ සේය.
හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය වූ රෝහිණී කුමාරි අතපත්තු මියගොස්ය. ඒ අකාල මරණය කෙසේ අර්ථ දැක්විය හැකි දැයි වටහාගත හැකි නොහේ. ඇය මිය යන්නේ විදුහල්පතිවරුන්ගේ පෞරුෂ වර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත් වූ මාරක වැඩමුළුවකදී අඩි හතළිහක් උඩින් වැටී ඔළුවට හානි වීමෙන්ය. මරණයට හේතුව අභ්‍යන්තර ලේ ගැලීම්ය.

ඇයගේ දේහය තැන්පත්ව තිබුණේ හම්බන්තොට අලුත් පාරේ ඇය ජීවත්ව සිටි නිවෙසේය. හාත්පස මුහුණු මැලවුණු දරු පැටවුන්ගෙන් පිරී ගොස්ය. ඇයගේ සැමියා බලාගත් වනමය. දරු පැටවුන්ට හඬන්නත් ක½දුළු නැතිවා සේය.

"අද ඉඳන් මමයි දරුවෝ හතර දෙනයි මේ ලෝකයේ තනිවෙනවා. අපිට සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීම කිසිම මිනිහෙකුට වෙන්න එපා. මට සිදුවූ අසාධාරණය සදාකාලිකයි. මමයි දරුවෝ හතර දෙනයි දැන් මේ ලෝකේ තනිවෙලා ඉවරයි. මෙවැනි පුහුණුවීම විධිමත්ව සිදු කළා නම් මගේ නෝනට මෙවැනි විපතක් සිදු වෙන්නේ නෑ".

රෝහිණි කුමාරි අතපත්තු විදුහල්පතිනියගේ ස්වාමියා වන තිලකරත්න අබේසිංහ කියමින් සිටියේය.
"අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලැබුණු දැනුම් දීමකට අනුව මගේ නෝනා පසුගිය 16 වැනිදා පාන්දරම කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩ සටහනක් සඳහා සහභාගි වෙන්න එහාට ගියා. 17 වැනිදා සවස හතට විතර වීරකැටියේ සිංගප්පූරු පාසලේ විදුහල්පතිනිය මට කතා කරලා කිව්වා නෝනා හදිසි අනතුරකට ලක්වුණා කියලා. මම ඇහුව නෝනට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ පාර එතුමිය නෝනට දුරකතනය දුන්නා. ඒ වෙලාවේ නෝනා මට කිව්ව මහත්තයා මට ගොඩක් අමාරුයි කියලා. මම මොනව කියන්නද දෙයියනේ. මම කිවුව ඔයාට බුදුසරණයි කියලා. පස්සේ මට දැන ගන්න ලැබුණා කුරුණෑගල රෝහලේ සිට කොළඹ මහ රෝහලට ගෙනෙන අතරේ එයා මිය ගිහින් කියලා."

ඔහුගේ කතාව අතර මැද නිහැ¾ඩියාවකි. අනතුරුව ඔහු විමසන ප්‍රශ්නය මේ රටේ වගකීම් රහිත නිලධාරීන්ගෙන් විමසිය යුතු ප්‍රශ්නයකි.
"මේ වගේ හමුදාවට සමාන පුහුණුවක් මේ ගුරුවරියන්ට ලබා දෙනව නම් විධිමත් ආරක්ෂාවක් තිබිය යුතුයි. එහෙම විධිමත් ආරක්ෂාවක් නැතිව ඇයි මේ වගේ අවදානම් පුහුණුවීම් කළේ".
මීට වසර කිහිපයක සිට ලංකාවේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට ලබා දෙන මෙම නායකත්ව පුහුණු වැඩසටහනින් අධ්‍යාපනය ලබාදීමට පරිබාහිරව අවදානම් ක්‍රියා දැරීම හා ඒ සඳහා සුදුසු මානසිකත්වයක් ගොඩනැඟීම සිදුකිරීම බලාපොරොත්තු වන බව කියැවිණි. දැන් කාට කාටත් අවදානම් දැරීමේ මානසිකත්වය ඕනෑවටත් වඩා ඇතිවී තිබෙන්නේය. එකෙක් මිය ගොස්ය.

අවදානම දරාගත යුතු ප්‍රමාණය ගැන කියනවා නම් ආරක්ෂාවක් හා එම අවදානම් ක්‍රියාවන් දරා ගැනීමේ නිසි වයස් මට්ටම මෙන්ම සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවත් සැලකීමක් කළ බව පෙනෙන්නට නැත.
රෝහිනී කුමාරි අතපත්තු

සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය වූ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය මියයන විට 53 වැනි විය පසුකරමින් සිටියාය. දූවරුන් සිවු දෙනකුගේ සෙනෙහෙබර මවකි. දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරියකි.

බෙලිඅත්ත දෙද්දුවාවල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය විද්‍යා ගුරුවරියකි. වර්ෂ 1987දී බෙලිඅත්ත දෙද්දුවාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් ගුරු සේවයට එක් වූ ඇය 1991 පසුව අම්බලන්තොට ප්‍රදේශයට පැමිණියාය. එතැන් සිට අම්බලන්තොට බැරගම ජනපද විද්‍යාලයේ විද්‍යා ගුරුවරිය වූයේ ඇයයි. පසුව 2008 වර්ෂය වන විට හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ ශේ‍ර්ණිධාරි ගුරුවරියක් ලෙස සේවය කරන රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත්ව 2011 වර්ෂයේදී හම්බන්තොට සුචි ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවයට එක් වූවාය. වර්ෂ 2013 වර්ෂයේ සිට මිය යන තෙක් ඇය එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළාය.

සුචි ජාතික පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලීලානන්ද කුමාරසිරිය
මීට අවුරුදු 10කට පෙර ළමයින්
280ක් වැනි සුළු දෙනකුගෙන් ආරම්භ කරපු මේ පාසලේ දැන් ළමයින් 1200කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ සඳහා අපේ විදුහල්පතිනියද ලොකු කැපවීමක් කළා. ඇයගේ නායකත්ව ගුණාංග ගැන කියන්න ඒ ප්‍රගතියම ප්‍රමාණවත්. මම ක්‍රීඩා ගුරුවරයා. මා දන්න දෙයක් තමයි මෙවැනි පුහුණුවක් මේ වැනි වයසේ අයට ගැළපෙන්නේ නැති බව. මේක අනිවාර්ය කරන ලද පුහුණුවක්ද කියල මම දන්නේ නෑ. නමුත් මෙවැනි වීර ක්‍රියාකාරකම් මේ වයසට ගැළපෙන්නේ නෑ. මෙවැනි වයස්වල අයට මේ වගේ පුහුණු ලබා දීමේදී අත්වන ප්‍රතිඵල තමයි මේ. මේ වගේ අනතුරු තරුණ කෙනකුට සිදු වුවත් මිය යන්න පුළුවන්."

මරණ පරීක්‍ෂණය
මරණ පරීක්‍ෂණයෙන් කියැවුණු සාක්‍ෂි ප්‍රකාරව මෙම වැඩමුළුව ජාතික පාසල් විදුහල්පතිවරුන්ට අනිවාර්ය වූ නායකත්ව පුහුණු වැඩමුළුවකි. 'විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි කියැවිණි.

සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය නායකත්වය පිළිබඳ වැඩමුළු තැබිය හැකි නායකත්ව ගුණයක් ප්‍රගුණ කළ කෙනෙක් බව සුචි ජාතික පාසලම දෙස් තිබ්බේය. ඇය 53 හැවිරිදිය. විශ්‍රාම යන්නට ඇත්තේ වසර 02ක්ය. මුන්ට අමු කැවිලාදැයි හිතන්නේ මරණයට මොහොතකට පෙර ඇයට නායකත්ව පුහුණුව ලබා දෙමින් සිට ඇත්තේ අඩි 40 උසක සිට මාරක සෙල්ලම් කරන්නට සැලැස්වීමෙන් බව හෙළිවන විටය.

ඇය අඩි 40ක පමණ උසැති ඉණිමගකින් පහළට බැසීමට යෑමේදී එයින් බිම වැටී මරුමුවට පත්වීමේ සිද්ධිය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ පසුගිය 18දා පැවැති සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියෝග කරන ලද මෙම වැඩමුළුව බැහැරගත ක්‍රියාශීලී නායකත්වය යන තේමාව යටතේ කරන ලද පුහුණුවකි. මෙය මෙහෙයවන්නේ වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේදීය. පසුගිය 16 වැනිදා එම පුහුණුව සඳහා තම බිරිය කුරුණෑගලට ගිය බවත් 18 වැනිදා එම වැඩමුළුව අවසන් වීමට නියමිතව තිබුණත් 17 වැනිදා සවස තම බිරියට අනතුරක් සිදුවී වරකාපොළ රෝහලටත්, එතැනින් කුරුණෑගල රෝහලටත්, පසුව කොළඹ ජාතික රෝහලටත් මාරු කිරීමෙන් පසුව මියගිය බවත් තම බිරිය අඩි 40ක පමණ උසක සිට ඉණිමගකින් පහළට බැසීමට යෑමේදී එයින් බිමට වැටී ඇති බවත් මියගිය විදුහල්පතිනියගේ සැමියා වන තිලකරත්න අබේසිංහ (59) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවිය හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

මියගිය විදුහල්පතිනියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූයේ කොළඹ අධිකරණ විශේෂඥ
වෛද්‍ය එස්. පී. ඒ. හේවගේය. ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක
මොහොමඩ් අෂ්රෆ් රූමි මෙම මියගිය විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුහුණුව ලබා දෙන නිලධාරියා සහ පුහුණුව පිළිබඳ ලියකියවිලි ලබන මාර්තු 8 දින කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය. වැඩිදුර සාක්‍ෂි විභාගය සඳහා මරණ පරීක්‍ෂණය ලබන 8 වැනිදාට කල්තැබීය. ඒ අනුව විදුහල්පතිනියගේ මරණයට හේතුව ලබන මස 08 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශය
මේ මරණයෙන් අනතුරුව විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩමුළු තාවකාලිකව නවතා දැමීමට අධ්‍යාපනය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් දුන්නේය. එමෙන්ම සිද්ධිය සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක්

පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී ඇතැයි කියැවුණේය.
"එතුමියට විශ්‍රාම ගන්න තව තිබුණේ වසර තුනක් පමණයි. වෘත්තීය ජීවිතේ පුරාම ඇය කළේ නායකත්වයන් දරපු එක. ඒ නිසා තමයි ඇය ජාතික පාසලක සාර්ථක විදුහල්පතිනියක් වුණේ. "කන් පුරා ඇසෙන්නෙ පාසල් ගුරුවරියක් හඬා වැටෙමින් කී කතාවය. සියල්ල සිදුවී හමාරය. රෝහිනී කුමාරි අතපත්තු මහත්මිය පසුගිය 19වැනිදා සවස අම්බලන්තොට හතර ඇළ පවුලේ සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය.

පුහුණු කළේ කවුද?
මෙම පුහුණුවීම හඳුන්වා තිබුණේ බැහැරගත ක්‍රියාශීලී නායකත්වය නමිනි. වැඩමුළුව පවත්වා ඇත්තේ පෞද්ගලික ආයතනයක් විසින් බව කීවේ වයඹ පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂවරිය විසිනි. ඔවුන් කර ඇත්තේ අවශ්‍ය පහසුකම් සැපයීමය. ඒ සමඟම නීතිඥ චරිත රත්වත්ත, විධායක අධ්‍යක්‍ෂ ධුරය දරන ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරය (ර්ණීභබඹචපඤ ඡධභදඤ ඊපභඵබ) මෙම වැඩසටහන තමන් විසින් මෙහෙය වූයේ නැති බවත් ඊට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කියා සිටියේය. නිවේදනය අනුව මෙම ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුදත්, ජාත්‍යන්තර විගණනයකට යටත් ලංකාවේ පවතින එකම ප්‍රමිතිගත ආයතනය ය.

ඔවුන් කියන්නේ අවිධිමත් පුහුණු ආයතන රැසක් රට පුරා ඇති බවත්, ඒවා අභියෝගාත්මක වැඩසටහන් හඳුන්වා දෙන අතර රජයේ හා පෞද්ගලික අංශයේ විවිධ ආයතන හා සමාගම් සිය කාර්ය මණ්ඩල මෙවැනි වැඩසටහන් සඳහා යොමු කරන බවත් එම නිවේදනයේ සඳහන් වන්නේය. ඔවුන්ට අනුව මේ එළිදැක ඇත්තේ බැහැරගත ක්‍රියාශීලී පුහුණුව සඳහා ආයතනයක් තෝරා ගැනීමේදී කලින් එම ආයතනය පිළිබඳ සොයා බැලීමේ බරපතළකමය. වාර්තා වන පරිදි මෙම පුහුණුව පවත්වා ඇත්තේ මීරිගම ප්‍රදේශයේ ආයතනයකි. එම පුහුණු සැසිය මෙහෙයවීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදුන් ආකාරය මේ වන විට කතිකාවට ලක්වෙමින් ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon