‘බිසෝ මැණිකා’ගෙ රැළේ කෙල්ලෙකුට Line දාන්න ඇවිත් හතරවටේටම නෙළන ‘Sando’ගෙ වැඩ කිඩ

  👤  3618 readers have read this article !
By mawbima 2018-02-25

යාල ජාතික වනෝද්‍යානය ලංකාවේ දෙවැනි විශාලතම හා දෙස් - විදෙස් සංචාරකයන් අතර ජනප්‍රියතම වනෝද්‍යානයයි. මෙයට වසර 20කට පමණ ඉහතදී කැලේ සිටි අලි ඇතුන් ගණන 450ක් පමණ වුවත් මේ වන විට එම සංඛ්‍යාව 250ක් දක්වා අඩු වී තිබේ.

යාල ගැමුණු සංචාරකයන් කවුරුත් හොඳින් හඳුනන සද්දන්ත ඇතෙකි. මේ සතා ජීප් රථවලට හොඬය දිගු කොට ආහාර ලබා ගැනීමට පුරුදුවී සිටී.
යාල වනෝද්‍යානය තුළ පිහිටි සිතුල්පව්ව පුරාණ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ වාහනවලට පහරදී ඔවුන් බිය ගන්වා ආහාර ලබා ගැනීම නිසා නන්දිමිත්‍ර නමින් හැඳින්වෙන ඇතා පිළිබ¼දවද බොහෝ දෙනා කතාබහ කරති. නන්දිමිත්‍ර චණ්ඩියෙකි. මීට වසරකට පමණ ඉහතදී නන්දිමිත්‍රගේ දළය උගේම හොඬය තුළට ගොස් පැටලී සිදුවූ කලබැගෑනිය තවමත් අපට මතකය. සිතුල්පව්ව විහාරස්ථානයට බැතිමතුන් රැගෙන පැමිණෙන වාහන 200කට වැඩි සංඛ්‍යාවකට නන්දිමිත්‍ර ඇතා පහරදී අලාභහානි සිදුකොට තිබේ.

අර්ජුන යනු සිතුල්පව්ව රජමහ විහාරයට පැමිණ ඉතා තැන්පත්ව බැතිමතුන්ගෙන් ආහාර ඉල්ලා ගන්නා හැඩි දැඩි සද්දන්ත ඇතෙකි. උගේ දළ පූට්ටු වීමට ආසන්නය.
යාල සිටින මේ සද්දන්තයන්ගේ නම් කියූ පමණින් බොහෝ දෙනා හඳුනාගනී. යාල සිටින 250ක් වූ අලි ඇතුන්ගෙන් පිරිමි අලි ඇතුන් සිටින්නේ 70 - 80 අතර සංඛ්‍යාවකි. දළ දරන්නේ පිරිමි සතුන්ගෙනුත් සුළු කොටසකි. එනම් යාල සිටින ඇතුන්ගේ සංඛ්‍යාව 15කට වඩා අඩුය.
වනයේ ගැවසෙන රංචුවල සිටින්නේ ගැහැනු සතුන් හා පැටවුන්ය. පිරිමි සතුන් සිටින්නේ තනි තනිවය. පිරිමි අලියකු රංචුවකට සමීප වීමට උත්සාහ දරන්නේ ගැහැනු සතකු සමඟ ලිංගිකව එක්වීම සඳහා හිත මිතුරු වීමටය.

එකම ගැහැනු සතකුට පිරිමි සතුන් දෙදෙනකු බැල්ම හෙළුවොත් එතැන අලි ගැටුමකි. ගැහැනු සතකු ලබා ගැනීම සඳහා අලි දෙදෙනකු අතර සිදුවන සටනකදී ශක්තිවන්තයා ජය ගනී. ඇතකු හා අලියකු අතර වන සටනකදී බොහෝ විටම ඇතා ජය ගන්නේ උෟ දළවලින් සිදු කරන පහරදීම් නිසාවෙනි.
එබැවින් ගැහැනු සතකු ලබා ගැනීමට අලියකු ඇතකු සමඟ සටනට පිවිසෙන්නේ ඉතා කලාතුරකිනි. ඇතුන්ම දෙදෙනකු අතර සටනක් ඇතිවුවහොත් ඔවුන්ගෙන් ශක්තිවන්තයා ජය ගනී. නැතහොත් පහර දීමට පහසු අයුරින් දළ පිහිටා ඇති සතා ජය ගනී.

දැනට සති දෙකකට පමණ කාලයක සිට යාලට එහි සංචාරක කලාපයෙන් බැහැරව වෙසෙන සද්දන්ත ඇතකු පැමිණ සිටී. වනජීවී නිලධාරීන් හා පරිසරවේදීන් උෟ හඳුන්වන්නේ "සැන්ඩෝ" නමිනි. සැන්ඩෝ යාල සිටින අනිකුත් අලි ඇතුන්ට වඩා උසින් මහතින් හා ශක්තියෙන් වැඩි සතෙකි. අඩි 10ක් පමණ වූ උස් වූ සිරුරකින් යුත් උගේ දළ මහතය. ශක්තිමත්ය. පොළොවට සමාන්තරව ඉදිරියට නෙරා පිහිටා ඇත.

මදකිපී සිටින සැන්ඩෝ යාල සංචාරක කලාපයට පැමිණ ඇත්තේ එහි සිටින බිසෝ මැණිකේ නමින් හැඳින්වෙන ඇතින්න සිටින රංචුවේ ගැහැනු සතකුට බැල්ම හෙළීමටය. යාල ඒ මේ අත ඇවිදින් සිටින සැන්ඩෝ උගේ ඉදිරියට හමුවන ඕනෑම පිරිමි අලියකුට පහර දෙන්නේ ඒ ගැන දෙවරක් නොසිතාය. හොඳින් වැඩුණු සද්දන්ත පිරිමි අලි පවා යාලට පැමිණ සිටින මේ ආගන්තුකයාට බියෙන් පලා ගොස් සැඟවී සිටිති.

සැන්ඩෝ සමඟ සටනට පිවිසෙන්නේ හැඩි දැඩි ඇතුන් දෙදෙනෙකි. එකෙක් යාල නිජබිම කරගත් ගැමුණුය. සැන්ඩෝ සහ ගැමුණු අතර සටන පැවැතියේ මඳ වේලාවකි. එකවරම පියවර කිහිපයක් පිටුපසට ගිය සැන්ඩෝ නැවත වේගයෙන් ඉදිරියට පැන එල්ල කළ පහරකින් බිම වැටුණු ගැමුණු වට දෙකක් රෝල් වී ගිය බව එය සියැසින් දුටු වනජීවී නිලධාරීහු කියති.

ඉන් දින කිහිපයකට පසුව සැන්ඩෝ සමඟ සටනට පිවිසුණේ සිතුල්පව්ව තනි දළයාය. මෙම තනි දළයාද සද්දන්ත චණ්ඩියෙකි. සිතුල්පව්ව තනි දළයා යාල වනයේ සිටි තවත් දැවැන්ත ඇතකුට මැරී වැටෙන තුරුම පහර දුන් සතෙකි. සැන්ඩෝ සමඟ පොරයට පිවිසි සිතුල්පව්ව තනි දළයා සෑහෙන වේලාවක් එකිනෙකාගේ අභිමානය වෙනුවෙන් සටන් කර තිබේ. නමුත් සැන්ඩෝ එල්ල කර තිබූ මාරාන්තික ප්‍රහාර කිහිපයකින් තනි දළයාගේ දළ මූලයට හා හිස් කබලේ තැන් කිහිපයකට දරුණු තුවාල සිදුවී තිබිණි.

ආගන්තු සැන්ඩෝ ඉදිරියේ තනි දළයා පලා ගිය අතර මේ වන විට උෟ අසාධ්‍ය තත්ත්වයේ සිටින බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
ඉන්පසු සැන්ඩෝට මුණගැසී ඇත්තේ සිතුල්පව්ව පන්සලට පැමිණෙන බස් රථවලට පහර දෙන චණ්ඩියාය. එනම් නන්දිමිත්‍රය. දුර තියාම ඉදිරියට එන සැන්ඩෝ දැක ම¼ද වේලාවක් උෟ දෙස බලා සිටි නන්දිමිත්‍ර කැලේ කඩාගෙන දිව ගිය බව සෆාරි ජීප් රථ රියැදුරෝ පවසති.

යාලට ආගන්තුක වූ සැන්ඩෝ ඇතා මේ වන විට යාල වනෝද්‍යානය පුරා සිය අණසක පතුරවමින් සිටින අතර සෙසු පිරිමි අලි ඇතුන් එහි පෙනෙන්ට නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon