පරාජයේ පතුරු ගැලවූ හතුරු

  👤  3309 readers have read this article !
By mawbima 2018-02-25

වසර දෙකකට ආසන්න කාලයක් පරාජයේ අමිහිරි බව ස්පර්ශ කළ ක්‍රිකට් ක්‍රීඩාව කරන අයටත් මෙන්ම පරාජයේ සෙවණැලිවලට පමණක් මුවාවී වේදනාවෙන් සිටි ක්‍රිකට් කරවන සහ ක්‍රිකට් බලන අයටත් යම් අස්වැසිල්ලක් ගෙන දෙන්නට පසුගියදා බංග්ලාදේශයේදී සාර්ථක ක්‍රිකට් සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා යැයි කීවොත් නිවැරැදිය.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව උරුම කරගෙන සිටි එකී අවාසනාවන්ත අයහපත් කාලවකවානුව තුළ ක්‍රීඩාවට ළැදි ප්‍රජාව තුළ ක්‍රිකට් කරන හා ක්‍රිකට් කරවන මහත්වරුන් පිළිබඳව පැවතුණේ දැඩි කලකිරීම මුසුවූ ප්‍රතිවිරෝධයකි. ඒ අනුව දිනෙන් දින ඉහළ ගිය සෘණාත්මක ප්‍රතිචාර හමුවේ මෙරට ක්‍රිකට් පාලකයන් ඊට ඉක්මන් විසඳුම සොයන්නට උත්සුක වූ අතර එසේ විසඳුම් සොයා යන ගමනේදී ඒ වන විටත් පුරප්පාඩුව තිබූ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවකු සොයා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කළේය.

ඒ අනුව මෙරට ක්‍රීඩා ලෝලීන්ගේද තේරීමක් වූ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහ වෙත අවධානය යොමු කිරීමට ක්‍රිකට් ආයතන බලධාරින්ද තීරණය කළ අතර එහෙත් හතුරුසිංහ වැනි පුහුණුකරුවකු ලංකාවට යළි ගෙන්වා ගැනීම යන කාරණයට මූල්‍යමය හා නීතිමය ස්වරූපයක් ගත් සාධක හරහට හිටියේය. එහෙත් එවකට බංග්ලාදේශ පුහුණුකරුවා ලෙස කටයුතු කළ හතුරුසිංහ ලබන 2019 ලෝක කුසලානය දක්වා එරටේ කණ්ඩායම සමඟ රැඳී සිටීමට ගිවිසගත් කාරණා ආදියෙන් නිදහස් වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ගනිමින් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ රහසිගතවම නව එකඟතාවකට පැමිණ තිබිණි. එම රහසිගත එකඟතාවන්හි ප්‍රතිඵලයක් ලෙස හතුරුසිංහගේ කොන්දේසිවලට අනුකූලව ඔහු ශ්‍රී ලංකාවේ නව ක්‍රිකට් පුහුණුකරුවා ලෙස බඳවා ගත්තේ එතෙක් පාලකයන් තුළ පැවැති මානසික පීඩනයද තරමක් හෝ ලිහිල් කර ගනිමිනි.

එහෙත් එසේ ලිහිල් කර ගත් මානසික පීඩනය වැටී තිබූ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවක් ලබා ගැනීම දක්වා වර්ධනය කර ගන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය දැඩි ලෙස ක්‍රිකට් කරවන මහත්වරුන් තුළ තිබුණද හතුරුසිංහ නව ක්‍රිකට් පුහුණුකරුවා ලෙස වැඩ භාරගැනීමෙන් පසු සති දෙක තුනක් ගතවන විටම ඔවුන්ගේ එකී ප්‍රශ්නයන්ටද පිළිතුරු ලැබෙන සේයාවක් පෙනුණේ හතුරුසිංහ විසින් ගන්නා ලද තීරණ කිහිපයක් හේතුවෙනි. ඒ සමහර තීරණ කණ්ඩායමේ ක්‍රීඩකයන් හට යම් නුහුරු බවක් ගෙන දුන්නද එමඟින් ක්‍රීඩාවට කැපවීම වෙනුවෙන් හුරුකර ගැනීමට හතුරුසිංහට හැකියාව ලැබිණි.

එසේම ක්‍රිකට් පාලනය කළ මහත්වරුන්ද හුරුවී සිටි සමහර කාරණා සම්පූර්ණයෙන්ම නොවුණද යම් තරමකට ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු පරිදි වෙනස් කරගන්නට හතුරුසිංහ සමත් වූවා යැයි කීවොත් නිවැරැදි වන අතර එසේ ක්‍රිකට් කරවන මහත්වරුන් කාමර තුළදීත් ක්‍රිකට් කරන ක්‍රීඩකයන් ක්‍රීඩාංගණය තුළදීත් තමාගේ දැක්මට අනුව හුරු කරගැනීමට යම් තරමකට හෝ සමත් වීම අද කා හටත් සිනාසෙන්නට හේතුපාදක විය. එය ආකල්පමය තත්ත්වයන් මුසුවූ පරිපාලනමය වෙනස්වීමක් දක්වා වර්ධනය වනවිට තාක්ෂණික වශයෙන් පුහුණුකරුවකුට අවශ්‍ය අත්දැකීම්, පරිණත බව හා දැනුම හතුරුසිංහ සතුව තිබීම ඔහුට පළමු සංචාරයෙන්ම මෙතරම් ලකුණු දමා ගැනීමට උපකාරී වූවා යැයි සිතිය හැකිය.

ඕනෑම පුරුද්දක් හා පුහුණුවී සිටි ආකාරයක් වෙනස් කරන්නට කාලයක් අවශ්‍ය වුවත් පුරුදු පුහුණු දේවල් වෙනස් කරන්නට නම් ගුරුවරයකු සේ කටයුතු කරන පුහුණුකරුවා සහ ගෝලයකු ලෙස හැසිරිය යුතු ක්‍රීඩකයා අතර අතේ දුරක් තබාගත යුතුය.

එය එසේ පවත්වා ගන්නට සමත් වූ හතුරුසිංහට නව කණ්ඩායම අත්හදා බැලීමට තවත් පහසු වූයේ තමන් මින් පෙර මිතුරුකම් දැක්වූ කණ්ඩායමක් සමඟම පළමු සටන පැවැත්වීමට අවස්ථාව ලැබුණු නිසාය. එම සටන මෙහෙය වීමේදී හතුරුට වැඩි යමක් කරන්නට නොතිබූ අතර බංග්ලාදේශයේදී ක්‍රීඩකයන් තෝරා ගන්නට මැදිහත්වූ ආකාරයටත් පුහුණු කරගත් ආකාරයටත් කටයුතු කළේය. ඒ අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි පහළ මානසිකත්වය ඉහළ නංවා ගැනීමට ඔහු සමඟ පෙර සමයේ කටයුතු කළ පිල් ජොන්සි නම් මනෝ වෛද්‍යවරයාද ලංකාවට ගෙන්වා ගත් අතර ඒ සියලු ආයෝජන ගඟට කැපූ ඉනි මෙන් නොවන්නට හතුරු කළ කැපවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ හතුරුගේ මංගල ගමනේදීම බංග්ලාදේශය තමන්ගේ අල්මාරිවල තබා ගන්නට බලාපොරොත්තුව සිටි කුසලාන තුනක්ම ගෙනැවිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අල්මාරිවල තැන්පත් කිරීමය.

"ජයග්‍රහණයේ රහස අධිෂ්ඨාන ශක්තියයි" යන කියමන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේමාව කරගන්නට හතුරුගේ පුහුණුව මඟින් ක්‍රීඩකයන්ට බල කළේය. එය කළේ වචනයෙන් නොව ක්‍රියාවෙනි. ඒ සඳහා නිකම්ම නිකම් පුහුණුකරුවෙක් වීමෙන් නොහැකිය. සැබෑ සාර්ථක ගුරුවරයකු වීමට නම් ඔහුට ගෝලයන්ගේ මනස හා හදවත කියැවීමේ හැකියාවක් තිබිය යුතුය. ඒ ලක්ෂණය හතුරු තුළ තිබීම ඔහු ක්‍රිකට් ලෝකය තුළ සාර්ථක වීමට එක් හේතුවකි. ඒ අනුව යමින් ඔහු ගත් පියවරයන් නිසා මින් පෙර කණ්ඩායමට ආ ගිය ආගන්තුකයන් බඳු ක්‍රීඩකයන් හතුරුගේ තේරීමේ දැල තුළට හසුවිය. පසුව ඔවුන් හාල්මැස්සන් නොව මෝරුන් වැනි ක්‍රීඩකයන් බව කාටත් තේරුම් ගියේය. එනම් එදා තේරීම් කමිටුවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබූ රොෂේන් සිල්වා වැනි ක්‍රීඩකයෝ හතුරුගේ න්‍යායට අනුව කටයුතු කරමින් බංග්ලාදේශයේදී ටෙස්ට් තරග ක්‍රීඩාකොට තරගයක පමණක් නොව තරගාවලියේ වීරයා විය.

ඉන් පෙර ඉන්දීය තරගාවලියේදී ගෙදර නවත්වා ගිය කුසල් මෙන්ඩිස් සතු කුසල් බලය හතුරුගේ බලයෙන් තවත් උද්දීපනය විය. විස්සයි - 20 ක්‍රිකට් කුසල්ට අකැප යැයි සමහරුන් පැවැසුවද කුසල්ගේ පිත්ත සමඟ හැකියාව මුවහත් කළ හතුරු කුසල් ආරම්භයටම ගෙනැවිත් විස්සයි - 20 තරගාවලියේ වීරයාද කළේය. දසුන් ශානකටද සාධාරණයක් ඉටු කළේ එලෙසිනි. තවද එහෙන් මෙහෙන් එක්දින කණ්ඩායමේ එල්ලී සිටි තිසර පෙරේරා කණ්ඩායමට නිත්‍ය ක්‍රීඩකයකු කොට ඔහුගෙන් වැඩ ගත්තේ අවසානයේ ඔහුට එක්දින තරගාවලියේ වීරයා සම්මානයද ගන්නා තැනට පත් කරමිනි. එලෙස ක්‍රීඩකයා පමණක් නොව ක්‍රීඩකයාගේ හැකියාව තේරුම් ගෙන ක්‍රීඩකයන්ගෙන් වැඩ ගැනීමේ ලක්ෂණය හතුරු ප්‍රදර්ශනය කළේය. එසේම විනය සහ දක්ෂතාව යන පීලි දෙකේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නම් දුම්රිය ධාවනය කරවයි. ධාවනය යහපත් වන්නට නම් ඉදිරි මඟ බාධක නොතිබිය යුතුය. එනිසා නිසි මඟ සකස් කිරීම පාලකයන් සතු වගකීමක් බවද තේරුම් ගත යුතුය.

සිරිනාම රාජපක්ෂ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon