අර්ජුනගේ ප්‍රකාශයෙන් ඉන්දියාව ඇවිළෙයි

  👤  4289 readers have read this article !
By mawbima 2017-07-17

2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක...කුමාර් සංගක්කාර කළ චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනකු ප්‍රතිචාර දක්වා ඇත.

1996දී ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුනගේ එම ප්‍රකාශය ගැන චෝදනා මුඛයෙන් ප්‍රතිචාර දක්වා ඇති 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් (97ක්) ලැබූ ගෞතම් ගාම්භීර් පවසා සිටින්නේ අමාත්‍ය අර්ජුන රණතුංග ඒ පිළිබඳව එල්ල කරන චෝදනාවලට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම එවකට ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවාව සිටි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අර්ජුන රණතුංගගේ ප්‍රකාශයෙන් තමා මවිතයට පත්වූ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය දිනූ පුද්ගලයකු වෙතින් එවැනි ප්‍රකාශයක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ බවත්ය.
2011 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව තරගය දක්වා ක්‍රීඩා කළ වේගපන්දු යවන්නකු වන අශීස් නේරා අර්ජුනගේ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවයි. මෙවැනි දේ පිළිබඳව අදහස් දැක්වීමෙන් ඊට පිළිගැනීමක් ලැබෙන බවද නේරා වැඩිදුරටත් පවසා ඇත. තවද පෙරළා ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇති නේරා විමසා ඇත්තේ කිසිවකු හෝ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ප්‍රශ්න කරන්නේ නම් එය සාධාරණ දැයි යන්නය. තවද අශීස් නේරා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අර්ජුන රණතුංග වැනි ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම බලාපොරොත්තු කඩකිරීමක් බවය.

එසේම 2011 ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ අවසාන මහා තරගයට ක්‍රීඩා කළ හර්බජාන් සිං ගෙන්ද ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධව විමසූ විට ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් ඉන්දීය පිලේ ක්‍රීඩකයකු වන රවීන්ද්‍ර දජේදා තම ට්විටර් පණ්වුඩයක් හරහා ප්‍රශ්න කර ඇත්තේ පසුගිය වසර 6ක් පුරා අර්ජුන මේ පිළිබඳව නිහඬව සිටියේ ඇයිද?යන්නය. තවද අර්ජුනගේ ප්‍රකාශය සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල කරමින් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ද ප්‍රතිචාර දක්වා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වූ කුමාර් සංගක්කාරද අර්ජුනට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ අදාළ සාක්ෂි තිබේ නම් එවැනි චෝදනා එල්ල කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බවයි. කෙසේ වෙතත් අර්ජුන රණතුංග වැඩිදුරටත් පවසා ඇත්තේ එම 2011 ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස තමන් කටයුතු කළ බවත් සැක කටයුතු කරුණු කිහිපයක්ම තිබූ නමුත් ඒවා හෙළි කිරීමට තවමත් වේලාව පැමිණ නොමැති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්