වරායේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු දෙදෙනකුට පැනවූ රට යෑමේ තහනම ඉවතට

  👤  3750 readers have read this article !
By mawbima 2017-07-17

කේ.එස්. උදයකුමාර්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් 319 දෙනකු නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින එම අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

2014.09.20 වැනිදා සිට 2015.01.07 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය වරායවල සේවය කරන සේවකයන් 319 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකෙළේ යැයි චෝදනා කරමින් වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.

එම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් මෙම චෝදනාව සඳහා විත්තිකරුවන්ට ඇප නියම කිරීමේදී ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය පියවර ගෙන ඇතැයි කියා සිටියේය.

විත්තිකරුවන් නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඇප කොන්දේසි උල්ලංඝනය නොවන පරිදි කටයුතු කර ඇති බැවින් දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්