සයිටම් විරෝධීන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අට්ටාලයක් ඉදිකිරීමට එරෙහි නඩුව වග උත්තරකරුවන් හතරකට සිතාසි

  👤  3561 readers have read this article !
By mawbima 2017-07-17

අමිල අබේරත්න

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් පසුගියදා පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ට පොලිසිය කළ පහරදීමට විරෝධය දක්වමින් සහ සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමය විසින් කොටුව දුම්රියපොළ භූමිය ආවරණය වන පරිදි අට්ටාලයක් ඉදිකරගෙන සිටීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් හතර දෙනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සිතාසි නිකුත් කළාය.

නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම මත මහෙස්ත්‍රත්වරිය එලෙස සිතාසි නිකුත් කළ අතර සිතාසි නිකුත් කරනු ලැබුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපියන් සංගමයේ සාමාජිකයන් වන සමරක්කොඩි ජයලත්, දේශාන් සිම්රොන්, බුද්ධිම මධුශංක ආරියවංශ, සමීර දිල්ශාන් අරංගල යන පිරිසටයි.
අධිකරණයේ පෙනී සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා, දීප්ති විජේරත්න යන මහත්වරුන් මහෙස්ත්‍රාත්වරිය විසින් රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරැදිකරුවන් වන බව ඔවුන් දෙදෙනාම අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබිණි.
මහෙස්ත්‍රාත්වරිය විසින් නඩුව විභාගයට නියම කළ අතර අගෝස්තු 25 වැනි දින නඩුව නැවත කැඳවීමට නියමිතය.
කොටුව දුම්රිය ස්ථාන සීමාවට බලහත්කාරයෙන් ඇතුළු වී අනවසරයෙන් යකඩ බට සහ යකඩ තහඩු උපයෝගි කර ගනිමින් මඩුවක් සෑදීම සම්බන්ධයෙන් කොටුව දුම්රිය ස්ථානය මඟින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමයේ සාමාජිකයන්ට එරෙහිව නඩු පවරා තිබූ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අධිකරණයේ පෙනී සිටිනු ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්