ඉදිරි කාලයේ ආණ්ඩුව බලයේ සිටියොත් මකාගන්න බැරි පාඩුවක් රටට සිදුවෙනවා

  👤  3232 readers have read this article !
By mawbima 2018-03-13

ආණ්ඩුවට තවත් ඉතිරිව ඇත්තේ මාස දහඅටක කාලයක් බවත් එම කාලසීමාව තුළ ඔවුන්ට බලයේ සිටීමට ඉඩ හැරියහොත් මකා ගන්න බැරි පාඩුවක් රටට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
ඊයේ (12දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.
ජී.එල්. පීරිස් මහතා මෙසේද කීය.

අද අපේ රටේ තිබෙන ශෝචනීය තත්ත්වය තමයි රජය කියන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබීම. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාවක් නැහැ. පසුගිය සති තුන තුළ නීතිය හා සාමය විෂයට ඇමැතිවරුන් තුන්දෙනෙක් පත්වුණා.

කැබිනට් පත්වීම්, විෂයයන් වෙන් කිරීම් ගැන කිසිම ක්‍රමවේදයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පත් කරනවාලු ලබන සතියේ. කැබිනට් මණ්ඩලයේ භාගයක්වත් තවම හරියට පත්වෙලා නැහැ. මේ අතරේ සරත් ෆොන්සේකා මහතා ඉතාමත් දැඩි ලෙස විවේචනය කරනවා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ පත්වීම. කෝ මේ අයගේ විනය.
රජයේ ඇමැතිවරුන්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. රජයේ ප්‍රශ්න ගැන එඩිතරව කතා කරන මුජිබර් රහුමාන් මේ ආණ්ඩුව තුළ සිටීම ලැජ්ජාවට කාරණයක්.

රජයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු ගණන නිවැරැදිව කියන්නැයි රංජිත් සොයිසා මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළාම ආණ්ඩුවෙන් ඒ සඳහා පිළිතුරු ලබාදෙන්න සති දෙකක් ඉල්ලුවා. ආණ්ඩුවේ ඇමැතිවරු ගණන ආණ්ඩුවම දන්නේ නැහැ. පොලිසිය මෙහෙයවන්නේ, පොලිසියට නියෝග දෙන්නේ රජය වුණාට රජයේ ප්‍රබල ඇමැතිවරු පොලිසිය විවේචනය කරනවා. රජයේ සියලු පක්ෂ නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් හමුවෙලා දුක් ගැනවිලි ඉදිරිපත් කරනවා. රජයෙන් විසඳුම් නැති නිසා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමකුයි මේ ඉල්ලා සිටින්නේ.

මේක විදේශීය බලපෑම්වලට ‍ෙදාර විවර කිරීමක්. පොලිසිය ගැන තිබෙන විශ්වාසය, ගෞරවය නැති කරලා, පොලිසිය විනාශ කරලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන්. මේ තත්ත්වයට වගකිවයුතු ඇමැතිවරුම පොලිසිය විවේචනය කරනවා.
බිහිසුණු ත්‍රස්තවාදයක් පරාජයට පත් කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බුද්ධි අංශ නිලධාරීන් අද හිරබත් කන තැනට පත්කළ විට අනාගතයේ රටේ ඇති වන උපද්‍රවයන් සම්බන්ධයෙන් බුද්ධි අංශය ක්‍රියාත්මක වෙයි කියලා හිතන්න පුළුවන්ද. මේ විධියට පොලිසිය හා බුද්ධි අංශය, අකර්මණ්‍ය තත්ත්වයක තිබෙන අවස්ථාවක අපේම මන්ත්‍රිවරුන් ඇති වුණු තත්ත්වය සමථයකට පත් කරන්න මැදිහත් වුණ විට ඔවුන්ව නිවෙස් තුළ රඳවා තැබුවා. අභූත චෝදනා නඟමින්. ජනතාවට සහාය දිය හැකි පුද්ගලයන් අකර්මණ්‍ය කරලා මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමටයි ආණ්ඩුවට අවශ්‍ය වුණේ.

මුස්ලිම් ප්‍රජාව හිටපු ජනාධිපතිවරයා හමු වුණා. ඔවුන් කිව්වා ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැහැ. ඔබගේ හඬ මේ රටට අවශ්‍යයි. මේකට මැදිහත් වෙන්න කියලා. මහින්ද රාජපක්ෂ මහතා ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින් මහනුවරට ගිහින් රට වෙනුවෙන් එතුමන්ගෙන් ඉටුවිය යුතු කාර්ය ඉටු කළා. මේ ආණ්ඩුව උත්සාහ කළේ කුමන්ත්‍රණ කරලා මුස්ලිම් ප්‍රජාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් අෑත් කිරීමට වුණත් අද වන විට ජනතාව තත්ත්වය තේරුම්ගෙන තිබෙනවා.

රටට අහිතකර පනත් කෙටුම්පතක් වන අතුරුදන් වූවන් පිළිබඳ පනත හදිසි නීතිය යටතේ ආණ්ඩුව සම්මත කරගත්තා. මේ වන විට දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න, පළිගැනීමේ චේතනාවෙන් විරුද්ධ මත මර්දනය කරන්න සමාජ මාධ්‍ය පාලනය කරමින් තිබෙනවා. මෙමඟින් කී දෙනකුගේ යැපීම සිදු වුණාද. සමහරු තමන්ගේ ව්‍යාපාර පවා පවත්වාගෙන ගියේ මේ හරහායි. මුළු රටම ආවරණය වන පරිදි හදිසි නීතිය යොදා ගන්නවා වෙනුවට ප්‍රශ්නය ආරම්භක අවස්ථාවේ නියමිත පියවර ගත්තා නම් අදාළ ප්‍රදේශයට පමණක් හදිසි නීතිය පනවන්න තිබුණා. මුළු රටම ආවරණය වන ආකාරයට හදිසි නීතිය දැම්මාම ජාත්‍යන්තර ප්‍රජාවට රට ගැන වැරැදි වැටහීම් ඇති වෙනවා.

ඉෂාරා සිල්වා
ජායරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon