සමාජ මාධ්‍ය තහනම් කිරීම මාධ්‍ය වාරණයේ පළමු පියවරයි

  👤  3011 readers have read this article !
By mawbima 2018-03-13

මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීම එහි එක් පියවරක් බව පැවැසූ රණතුංග මහතා වැඩිකලක් යෑමට මත්තෙන් රටේ අනෙකුත් මාධ්‍යවලටත් වාරණ පැනවෙනු ඇති බවත් ලබ්බට තැබූ අතම පුහුලටත් තැබෙනු ඇති බව කවුරුත් මතක තබා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.
මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් උඩුගම්පොළදී පෙරේදා (11දා) හමුවූ අවස්ථාවේදීය.
ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

වර්තමානයේ රට පාලනය කරන්නේ ආණ්ඩුවක් නෙවේ පාණ්ඩුවක් කියලා අපි අවුරුදු තුනක් තිස්සේ කිව්ව කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා. පසුගිය දවස්වල මහනුවර ඇතිවුණු කලබලකාරී වාතාවරණය පාලනය කිරීමට නොහැකිවීම තුළින් එම කාරණය මුළු ලෝකයට පැහැදිලි වුණා.
රට, ජාතිය පාවාදී හෝ බලය රැකගැනීමේ පරම චේතනාවෙන් කටයුතු කරන මේ ආණ්ඩුවට රට පාලනය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. පසුගිය අවුරුදු තුන පුරාම රට පුරා ඇතිවුණු අර්බුදවලට විසඳුම් දීමේදී ආණ්ඩුව දක්වපු අසාර්ථක ප්‍රතිචාර තුළින් ඒ බව පැහැදිලි වෙලා ඉවරයි.

මහනුවර කලබලකාරී වාතාවරණයට එරෙහිව මුල් අවස්ථාවේදීම ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව කටයුතු කළා නම් මේ තරම් ලොකු විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධිය දුරදිග යනකම් ජනාධිපති සහ අගමැති නිදාගෙන සිටියා. ඒ දෙන්නා නින්දෙන් නැඟිටලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කොට සිදුවිය යුතු විනාශය වෙලා ඉවරයි.
ආණ්ඩුව මුල ඉඳන්ම කල්පනා කළේ මේ අර්බුදය විසඳනවාට වඩා අර්බුදයේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ කරට දාන්නේ කොහොමද කියලයි. ඒ බව කැබිනට් ප්‍රකාශක යැයි කියා ගනිමින් තුට්ටු දෙකේ දේශපාලනයක නිරත වන රාජිතගේ කතාවෙන් ඔප්පු වුණා.

රාජිත රට හමුවේ බොරු කියපු පළමු අවස්ථාව මේක නෙවෙයි. ආණ්ඩුවේ නිල ප්‍රකාශකයෙක් විදියට ඇවිත් රාජිත මේ කියන අමූලික බොරු ආණ්ඩුවේ නිල මතයද කියන එක ආණ්ඩුව දැන් රට හමුවේ ප්‍රකාශ කළ යුතුයි. එහෙම නොවේ නම් රාජිත කියන බොරු කාරයා ඇමැති මණ්ඩලයෙන් එළවා දැමිය යුතුයි.
මහනුවර ගැටුම ආණ්ඩුව නොහිතපු වෙලාවක ඇදිච්ච ලොතරැයියක් වගෙයි. තමන්ට එරෙහිව පක්ෂය තුළින් ආපු විරෝධතාව යටගහන්න අගමැතිට ඒ ලොතරැයිය උපකාරි වුණා. ඒ වගේම ජනාධිපතිට තමන්ගේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ විරෝධය යටගහන්න ඒකෙන් හයියක් ලැබුණා.

දැන් කවුරුත් විශ්වාසභංගය ගැනවත් නිදහස් පක්ෂයේ නොකෙරෙන සංශෝධනය ගැනවත් කතා කරන්නේ නැහැ. වෙන එකක් තියා දැන් කාටත් අර්ජුන මහේන්ද්‍රනුත් අමතකයි. මහ බැංකුව මහා දවාලේ මංකොල්ල කාපු අර්ජුන මහේන්ද්‍රන් බේරගන්නත් අගමැතිට මේකෙන් හයියක් ලැබුණා.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නම් මේවා අලුත් දේවල් නෙවෙයි. එතුමාගේ මාමා තමයි මේ වාගේ පහත් වැඩවලට නිර්මාතෘවරයා. එදා මාමා 83 කළු ජූලිය මවලා තමන්ගේ බලය තහවුරු කරගත්තු ආකාරයටම අද බෑනා තමන්ගේ බලය තහවුරු කරගන්නවාද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා.

රට මෙච්චර අර්බුදයකට යන කොටත් තමන්ගේ වාසිය තකා රනිල්ගේ ඉඳුල් කකා ඉන්න පුළුවන් නිවටයන් රැලකට පමණයි. තවදුරටත් ඒ නිවට රැලේ ඉන්නවාද එහෙමත් නැත්නම් රටත් ජාතියත් වෙනුවෙන් නිවැරැදි පැත්තෙන් හිටගන්නවද කියන එක දැන් නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තීන්දු කළ යුතුය.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon