ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය

  👤  3138 readers have read this article !
By mawbima 2018-03-13

ලක්ෂ්මී ජයකොඩි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් 2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගනු ලැබූ යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම කෙරෙහි එම කවුන්සලය සිය අවධානය යොමු කරනු ඇති බව මෙරටට පැමිණ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆේල්ට්මන් මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අවධාරණය කොට තිබේ.

ඒ ජෙෆ්රි ෆේල්ට්මන් මහතා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. සුමන්තිරන් මහතාව පසුගියදා 10 කොළඹදී හමු වී කළ සාකච්ඡාවේදීය.
මෙම හමුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුමන්තිරන් මහතා පැවැසුවේ ඉතා තීරණාත්මක අවස්ථාව ෆේල්ට්මන් මහතා මෙරටට පැමිණීම අගය කරන බවත් මේ වන විට මෙරට පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය පිළිබඳව තමන් ඔහුට පැහැදිලි කළ බවත්ය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ජනතාවට යම් ස්ථිර පොරොන්දු ලබාදෙමින් බැවින් එම පොරොන්දු ඉටු කිරීමට රජයේ වගකීමක් බව තමන් ෆේල්ට්මන් මහතා වෙත අවධාරණය කළේ යැයිද සුමන්තිරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා පැවැසුවේ මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව කවුන්සලයේත් ජාත්‍යන්තරයේත් අවධානය යොමුව පවතින බවයි.

පළාත් පාලන මැතිවරණයකින් ලැබූ පසුබැසීම හේතුවෙන් ආණ්ඩුවට තමන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකොට පැහැර හැරීමේ හැකියාවක් නැතැයිද ෆේල්ට්මන් මහතා වෙත පවසා ඇති මන්ත්‍රිවරයා ඒ පිළිබඳව මෙරට නායකයන්ගේ අවධානය යොමු කරන ලෙසද ඉල්ලා තිබේ.

තවද ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාවරය වී ඇති බවද ජෙෆ්රි ෆේල්ට්මන් මහතා සුමන්තිරන් මහතා වෙත මෙහිදී පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon