‘මහසෝනා’ සොයා වාසුගෙන් මෙහෙයුමක්

  👤  3394 readers have read this article !
By mawbima 2018-03-13

මහනුවර සිද්ධිය මේ වන විට සමථයකට පත් වී සාමකාමී වාතාවරණයක් පැවැතුණද ඇතැම් දේශපාලනඥයෝ නම් තවමත් මහනුවර සිද්ධිය ගැන කතා කිරීමට අමතක නොකරති.

පසුගිය සිකුරාදා මැති සබය තුළ ඇති වූ විශේෂම සිදුවීම වන්නේ එකම ආණ්ඩුවේ එකම දේශපාලන පක්ෂයේ ජනතා නියෝජිතයන් දෙදෙනකු අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමයි.
"ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අතර මෙම කතාබහ සිදුවිය.

ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා විවාදයට එක් වී අදහස් ප්‍රකාශ කරන විට ඔහු මුස්ලිම් අන්තවාදයක් ගැන කතා කළේය.
ජාතිවාදයට පෙට්රල් වත්කරන්නේ කවුද? කියලා සොයා බැලිය යුතුයි. ඒ වගේම මුස්ලිම් අන්තවාදයකුත් තියෙනවා. මේ ගැන සොයා බැලිය යුතුයි. ෆේස්බුක් තාවකාලිකව වාරණය කරලා මේ ජාතිවාදී ගින්න ඇවිළීම මැඬපැවැත්වීමට හැකිවුණා. අම්පාර සිද්ධිය ගත්තොත් ඒකෙ වඳ පෙත්තක් තිබුණේ නැහැ. තිබිලා තියෙන්නේ පිටි ගුළියක්. අම්පාර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ගැටුම් ගැන සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතුයි.' යනුවෙන්ද ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී යෝජනා කරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අදහස් දැක්වීමට සූදානම් වනවාත් සමඟම ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා නැඟිට යන්නට සූදානම් විය. 'ඇමැතිතුමා යන්න එපා. මට ඇමැතිතුමා කියපු දේකටත් පොඩි උත්තරයක් දෙන්න ඕන' යනුවෙන් ප්‍රකාශ කළ මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා තම අදහස් දැක්වීම ආරම්භ කළේය.

"ඔබතුමා මුස්ලිම් අන්තවාදයක් ගැන කතා කළා. කෙළින්ම කියන්න මුස්ලිම් අන්තවාදය කවුද? කියලා. මුස්ලිම් අන්තවාදය රාවුෆ් හකීම්ද? රිෂාඩ් බදියුදීන්ද? කෙළින්ම කියන්න. එහෙම මුස්ලිම් අන්තවාදයක් තියෙනවා නම් ආණ්ඩුවෙන් එළියට දාන්න. දෙපැත්තෙන්ම බටර් ගාන්න එපා. හරි පැත්තේ හිටගන්න. මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් 90%ක් ඡන්දය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයට, මාත් මුස්ලිම් ජාතිකයෙක්. මාත් යූඇන්පී කාරයෙක්. එතකොට මාත් අන්තවාදියෙක්ද? මහනුවර අන්තවාදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. සිද්ධියක් ඇතිවුණා. එම සිද්ධිය පාලනය කරගන්න අපට බැරිවුණා. එතැන තියෙන්නේ අන්තවාදයක් නෙවෙයි. අපේ නොහැකියාව. එවැනි දෙයක් පාලනය කිරීමට නොහැකි ආණ්ඩුවක ඉන්න සිදුවීම ගැන මං කනගාටු වෙනවා' යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ඉතා වේගවත් කතාවක් කරගෙන ගියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ මෙම ගැටුම් සම්බන්ධයෙන් සෙවීමට තිබෙන හොඳම ක්‍රමය ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත්කිරීම බවයි.

මේ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා තම කතාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතාටද උණුසුම් ප්‍රතිචාරයක් දැක්වීය.
බිමල් රත්නායක මන්ත්‍රිවරයාද මෙම විවාදයට එක්වෙමින් වැඩිදුර අදහස් දැක්වූයේ මහනුවර සිද්ධිය සම්බන්ධයෙනි.

'සිංහල ජාතිය වඳ වෙනවා කියලා සිංහල බෞද්ධ ජනතාව තුළ බියක් ඇති කරලා තියෙනවා. මේ නිසා සිංහල ජනතාව බියට පත්වෙලා ඉන්නේ. පසුගිය අවුරුදු 5 තුළ මෙම භීතිය ඇතිකර ඕනෑම දෙයකට සිංහල මිනිසුන්ව පහසුවෙන් අල්ලා ගන්නවා. ඇති වෙන්න ජාතිවාදය වපුරලා තියෙනවා. මුස්ලිම් අන්තවාදයෙන් වැඩිපුරම හානි කරලා තියෙන්නේ මුස්ලිම් ජනතාවට.

මේ පාර්ලිමේන්තුව නරඹන්න පැමිණෙන මුස්ලිම් දරුවෝ එන්නේ මුහුණ වහගෙන. මං මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් විමසුවා, අඩුම තරමින්වත් මේකට විරුද්ධ නොවෙන්නේ ඇයි' කියා යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මේ කතාවට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාට යකා නැග්ගේය.
බිමල් රත්නායක මන්ත්‍රිතුමා වහගෙන යන කට්ටිය ගැන කතා කළා. එතකොට ඇරගෙන යන කට්ටිය ගැන මොකද කියන්නේ. කකුල් පේන්න කොටට ඇඳගෙන යන කට්ටිය ඉන්නවා. බේ‍රසියර් ඇඳගෙන යන කට්ටිය ඉන්නවා. එහෙම ඇරගෙන යන කට්ටිය ගැන කියන්නේ මොනවාද? ඒක නිසා අන්තවාදයක් ගැන එහෙම කතා කිරීම වැරැදියි. මගේ බිරිය මුහුණ වහගෙන යන්නේ නැහැ. මුහුණ වහගෙන යන්නේ ඒ ඒ කෙනාට වුවමනා නිසා. ඒක පෞද්ගලික කාරණයක්. නැතිව අන්තවාදයක් මඟින් මුහුණ වහගෙන යන්න කියලා බල කරන්නේ නැහැ' යනුවෙන්ද මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර සිකුරාදා දින පාර්ලිමේන්තුව රැස් වී තිබෙන අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් හා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු අතර සුහද කතාබහක් සිදුවිය.

මෙම කතාබහ සිදුවුණේ මැතිසබය තුළදීය. විරුද්ධ පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක අසුන්ගෙන සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන හා සී.බී. රත්නායක යන මන්ත්‍රිවරුන්ය.

ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක සිටින එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිටින්නේ මෙම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉදිරිපිටය.
ඔවුන් අතර පවතින්නේ මීටර් 10ක් 12ක් අතර පරතරයක් නිසා මැතිසබයේ වැඩකටයුතුවලට බාධා නොවන ආකාරයෙන් යම් යම් දේවල් කතාබස් කර ගැනීම් මැතිසබය තුළ සාමාන්‍ය දෙයකි.
එදින නිල් මහ සටන වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය (ඕඪඨ ර්චජඩ) ආරම්භ වී තිබුණු නිසා කතාබහ සිදුවූයේ බිග් මැච් එක පිළිබඳවයි.
මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන යන දෙදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් මෙන්ම මිත්‍රයන් නිසා බිග් මැච් කතාව නොදැනීම මාතෘකාවට පත්වී තිබිණි. මේ කතාව යන විට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද එම ස්ථානයට පැමිණියේය.

බිග් මැච් ගැන කතා කළාට මලික් සමරවික්‍රම ඇමැතිතුමා හුඟක් කැපවෙන්නේ ක්‍රිකට්වලට නෙවෙයි. රගර්වලටයි. සී.බී රත්නායක මන්ත්‍රිවරයා පැවැසුවේ මඳක් සිනහසෙමිනි.
මං නම් රාජකීය විද්‍යාලයේ ටයි එක දාගෙනමයි ආවේ. පාර්ලිමේන්තුවේ ඉඳලා බිග් මැච් එක බලන්න යනවා.' හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තමාද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු බව ප්‍රකාශ කරමින් රාජකීය විද්‍යාලයේ ටයිපටිය පැලඳගෙන එම ටයි පටිය අතින් අල්ලාගෙන ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තරමක් ආඩම්බරයෙනි.

'රාජකීය පිල රාජකීය හොරු බවට පත්වෙලා' යනුවෙන් සී.බී. රත්නායක මන්ත්‍රිවරයා මඳක් සිනහසෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ආවර්ජනය කරමිණි.

'අපි නම් ඕවට නැහැ' යනුවෙන් හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.
'තොප්පිය හරි නම් දාගන්න' ඊට සිනහසෙමින් ප්‍රතිචාර දැක්වූයේ සී.බී. රත්නායක මන්ත්‍රිවරයාය.
"බිග් මැච් එක බලන්න යන්නේ නැද්ද' සී.බී. රත්නායක මන්ත්‍රිවරයා විමසුවේ තවත් රාජකීය ආදි ශිෂ්‍යයකු වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගෙනි.

'පාර්ලිමේන්තුවේ වැඩ තියෙන නිසා යන්න වෙන්නේ නැහැ' ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් පැවැසුවේය.
ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පිරිසක් මුණගැසුණේය.

මහනුවර ගැටුම ගැන මෙහිදී මාතෘකාව බවට පත්වූ අතර යම් ඉඟියක් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයාගෙන් මෙහිදී ප්‍රකාශ විය.
'මහසෝන් බළකාය මෙම සිද්ධිය පිටුපස ඉන්නවා කියලා තමයි බුද්ධි අංශ තොරතුරුවලින් වාර්තා වෙන්නේ. මෙම මහසෝන් බළකායට පණදුන්න නියම මහසෝනා කැබිනට් අමාත්‍යවරයෙක් කියලත් තොරතුරු වාර්තා වෙනවා. මං මේ දවස්වල සැබෑ මහසෝනා සොයා ගවේෂණාත්මක මෙහෙයුමක් දියත් කර තිබෙනවා.' යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ ගණනාවක කුලී මුදලක් ගෙවමින් ලබාගත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ල තවමත් ඒ සඳහා යොදා නොගන්නේ මන්දැයි කළුතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

මෙම පාර්ලිමේන්තු සැසිය ආරම්භ කළ පසුව ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වා දුන්නා. ඒ සඳහා වූ රැස්වීම් පැවැත්වීමට පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඉඩකඩ මදි කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ලක් ගත්තා.

ඒ සඳහා රුපියල් ලක්ෂ 247ක් කුලිය ගෙව්වා. ඒ ගොඩනැඟිල්ල දැන් මාස 16ක් තිස්සේ වහලා. ආංශික අධීක්ෂණ කාරක සභා තවමත් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුව තුළමයි' යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය. 'අපි ඒක ඉල්ලලා ගත්ත දෙයක් නොවේ. ඒක අපිට භාරදුන්නේ ගිය මාසේදී. එහි පදිංචිය සඳහා සූදානම් කිරීමේ කටයුතු නාවික හමුදාව මඟින් සිදුකරනු ලබනවා. මට තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ අධීක්ෂණ කමිටුවල සාමාජිකයන්ගෙන් 40%ක් වත් රැස්වීම්වලට සභභාගි වෙන්නේ නැහැ' යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon