මිනුම්දෝරුවෝ සංකේත වැඩ වර්ජනයක

  👤  3811 readers have read this article !
By mawbima 2018-03-14

උපතිස්ස පෙරේරා

මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ සියලුම ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමට යැයි පවසමින් මෙරට සියලුම ඉඩම් මිනුම්ගත කිරීම සඳහා රහසිගත ගිවිසුමක් මඟින් ඇමෙරිකානු සමාගමකට පැවැරීමට අගමැතිවරයා කටයුතු කිරීමට එරෙහිව රජයේ මිනුම්දෝරු සංගමය අද (14දා) සිට තෙදිනක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා ප්‍රකාශ කරයි.

මෙම මිනුම්ගත කිරීම රුපියල් මිලියන 1000කට ඇස්තමේන්තු කර තිබියදී ඒ සඳහා රුපියල් මිලියන 2,500ක ණය මුදලක් වසර 15ක කාලයකින් 4%ක පොලියට ලබාගැනීමට යහපාලන රජය ක්‍රියා කිරීම බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ වංචාවක් බව පෙන්වා දෙන සභාපති උඳුගොඩ මහතා මෙමඟින් ගසා කන මුදල් යන්නේ කාගේ සාක්කුවටදැයි ඊයේ සවස මිලාගිරියේ එම සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.
බිම් සවිය ව්‍යාපෘතිය අසාර්ථක යැයි රජය පැවැසුවද ඊට අදාළ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය 100%ක්ම සාර්ථකව නිමා කළ බවත් මෙම මිනුම්ගත කිරීම සඳහා මිනුම් දෙපාර්තමේන්තුව වසර 218ක් තිස්සේ සිදුකරන ලද මෙරට මිනුම්ගත කිරීම්වලට අදාළ සියලුම දත්තයන් ඇමෙරිකානු සමාගමකට ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව 2018 ජනවාරි 8දා තම සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මේ වන විට දින 65ක් ගතවී ඇති බවත් ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්වූ අවස්ථාවේ සතියකින් පිළිතුරක් ලබා දෙන බව පවසා ඒ පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ මුත් එහි වාර්තාව ලැබෙන්නටත් පෙර හොර රහසේ ගිවිසුම අස්සන් කිරීමට පිඹුරුපත් සකසා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව දිවයින පුරා සිටින තම සංගමයේ සාමාජිකයන් මෙම තෙදින තුළ සංකේත වර්ජනයක්ද කොටුව දුම්රිය ස්ථානය අබියස විරෝධතා උද්ඝෝෂණයක් ද පවත්වන බවත් 16දා දිවයින පුරා සිටින තම සාමාජිකයන් කොළඹට ගෙන්වා දැවැන්ත විරෝධතාවක් දක්වන බවත් එහිදීද රජය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට පිවිසෙන බවද උඳුගොඩ මහතා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon