ජපාන අධිරාජයාගෙන් ජනපති මෛත්‍රිට උණුසුම් පිළිගැනීමක්

  👤  3591 readers have read this article !
By mawbima 2018-03-14

දීර්ඝ කාලයක් පුරා පවතින ජපාන ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජපාන අකිහිතෝ අධිරාජයා අතර හමුව ඊයේ (13දා) පෙරවරුවේ සිදු විය.

ටෝකියේ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය අකිහිතෝ අධිරාජයා සහ මිචිතෝ රැජන විසින් ඉතා උණුසුම් හා සුහදශීලී ලෙස පිළිගනු ලැබීය. අනතුරුව නායක දෙපළ සුහද කතාබහක නිරත වූහ.
ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව කියා සිටියේය.

ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කිරීම පිළිබඳ ජපන් අධිරාජයා වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බවද සඳහන් කළේය. 1981 වසරේදී පමණ තමා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳවද මෙහිදී සිහිපත් කළ ජපාන අධිරාජයා මෙම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳ පුදා ගැනීමට තමාට අවස්ථාව ලැබුණු බව පැවැසීය. එමෙන්ම එම සංචාරයේදී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීමද ජපන් අධිරාජයා ගෞරවයෙන් සිහිපත් කළේය.

ජපානය ස්වාභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ්‍රී ලංකාව සැබෑ මිත්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහාය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය.
මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරැඹීමටද ජනාධිපතිවරයා සහ අකිහිතෝ අධිරාජයා එක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon