ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළොත් ආණ්ඩුව අනෙක් පැත්ත හරවනවා

  👤  3923 readers have read this article !
By mawbima 2018-03-14

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් තීරණය පමණයි මේ ආණ්ඩුව ගත් එකම හා හොඳම තීන්දුව. දැන් මේ ආණ්ඩුව නැවත මේ තීරණය වෙනස් කරන්න යනවා. මේ ආණ්ඩුව මෙම මෝඩ තීරණය වෙනස් කළේ නැත්නම් මේ ආණ්ඩුවත් අර කලින් ආණ්ඩු අනෙක් පැත්ත හැරෙව්වා වගේ වැඩිකල් නොගිහින් අනෙක් පැත්ත හරවනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගියදා පැවැසූහ.

උන්වහන්සේ මේ බැව් පැවැසුවේ කාබනික ගොවිතැන සම්බන්ධව වැලිමඩ ප්‍රදේශයේ දිරිය සවිය ගොවි සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් සඳහා සහභාගි වෙමිනි. මෙම වැඩසටහන කැප්පෙටිපොළ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් මෙසේ පැවැසූහ.

ආණ්ඩුව තීරණයක් ගත්තා ග්ලයිෆොසෙට් නවත්වන්න. ග්ලයිෆොසෙට් කියන්නේ පූර්ණ වල් නාශකයක්. සමාජයේ මේ රසායනිකය වල් බෙහෙත් කියලයි ප්‍රචලිත. මේ පළාත්වල වගා කරන්න ඉස්සෙල්ලත් වගා කළායින් පස්සෙත් වල් මැරෙන්න කියලා ගහනවා. මේක ඇයි අපි නැවැත්තුවේ. මේක උග්‍ර පිළිකාකාරකයක්. වකුගඩු රෝග හැදෙන, පිරිසුදු ජලය දූෂණය කරන, පස දූෂණය කරන, වායුව දූෂණය කරන උග්‍ර විසක්. ඇඟිල්ලෙන් අරන් කටේ ගාගත්තම දිව පිච්චෙනවා. බින්දු හතරක් පහක් බිව්වොත් මිනිහෙක් මැරෙනවා. මේවා නුවර, නුවරඑළිය, බදුල්ල ගැහැවුවට මේවා හෝදගෙන ගිහිල්ලා තැම්පත් වෙන්නේ වැව්වල. මහවැලි ගඟෙන් තමයි අපේ වැව් රාශියක් පෝෂණය වෙන්නේ. කලා වැව, තිසා වැව, බසවක්කුලම ආදී වැව් පිරෙන්නේ මේ යන ජලයෙන්. ඒ වතුර කුඹුරුවලට යනවා. ගොවියෝ වස ගැහුවත් නැතත් ඒවා වගාවන්ට මුසුවෙලා ඉවරයි. දැන් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ කරලා ඔප්පු කරලා තියෙනවා මේ විස ගොවිතැනකට තියා පරිහරණයකට නොගත යුතු තත්ත්වයේ උග්‍ර විසක් කියලා. කුඹුරට මේවා ගැහුවම ඒ ආහාරත් සමඟ අපේ ශරීරයට මේවා ඇතුළුවෙන්න පුළුවන්. මේ වල් නාශක ගොයම් ගහට වේගයෙන් උරනවා.

නෙලුම් අලවලට වේගයෙන් උරනවා. අර්තාපල්වලට වේගයෙන් උරනවා. පසුගිය ආණ්ඩු කාලයේ මම ආණ්ඩුවත් එක්ක හැප්පුණේ මේ කාරණය නිසයි. අන්තිමට මේක තහනම් කළා. මේ වල් නාශක තහනම් කළාට පස්සේ මේ පැතිවල හරක්ට කන්න වල් තියෙනවා කියලා මේ පැත්තේ අය මගෙත් එක්ක කිව්වා. මේ වල් නාශක නතර කිරීමත් එක්ක ගොඩක් වාසි ලැබුණා. පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය වැඩි කරගන්න හැකි වුණා. ඒ වගේම පසේ සරු බව හා තෙතමනය ඇති කරගන්න හැකි වුණා. මාළු කිලෝවක් ගනිද්දී කිලෝවක බර විතරයි මාළු මරන කෙනා මරන්නේ. නමුත් ගොවියෝ හාල් කිලෝවට කිලෝ සියක විතර සත්තු මරනවා. ඉතිං මේක පාපකාරී අධාර්මික ගොවිතැනක්. ගැඩවිලාගේ පටන් බත්කූරෙක්, සමනලයෙක් වත් නැති තත්ත්වයකට පත්වෙනවා. ඉතිං අපි ආණ්ඩුවට බලපෑම් කරල අපි මේක නැවැත්තුවා. මක් නිසාද බොහෝ දෙනෙක්ට වකුගඩු රෝගය හැදිලා. දියවැඩියාව හැදිලා. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු මෙට්ෆෝමින් බොනවා. ඒ ගොල්ලොම වල් නාශක එවනවා. ඒ ගොල්ලොම මෙට්ෆෝමින් එවනවා. අවුරුද්දකට ලංකාවට කෝටි දහයක සීනි අමාරුවට බෙහෙත් ගේනවා ලංකාවට. ඒ බෙහෙත් අවුරුදු දහයක් පහළවක් බොනකොට වකුගඩු දෙක ඉවරයි. ඒකට බෙහෙත් ඇත්තෙම නැහැ. මේ බටහිරට ගැති ගොවිතැන මඟින් අපි විනාශ කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි මේ වස විස නැති ගොවිතැන කිරීමට මහන්සි වෙන්නේ.

ආණ්ඩුව හොඳ තීරණයක් ගත්තා ගොවියාට කෙළින්ම පොහොර දෙනවා වෙනුවට ගොවියාට බැංකුවට සල්ලි දාලා සල්ලි දෙන්න. එතකොට ගොවියාට තීරණය කරන්න පුළුවන් කාබනික පොහොර දානවාද රසායනික පොහොර දානවාද කියලා. මේක අපේ ජනාධිපතිතුමා ගත්ත වැදගත් තීරණයක්. මේ තත්ත්වය මත ගොවියෝ දහස් ගාණක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත වෙනවා. දැන් ආණ්ඩුව ආපහු තීරණයක් ගන්න යනවා ඍජුව ගොවියාට රසායනික පොහොර දෙන්න. කාබනික පොහොර නිෂ්පාදකයෝ ඉවරයි. පිටරටට සල්ලි ටික යනවා. අපේ පසට ජලයට විස එක් වෙනවා. අපි ලෙඩ වෙනවා. මේ ආණ්ඩුව කරපු හොඳ යැයි කියන්න තියෙන එකම දේ තමයි ගොවියන්ට පොහොර වෙනුවට මුදල් දෙන්න ගත්ත තීරණය. දැන් ඒ ගත්ත හොඳම තීරණයත් වෙනස් කරන්න යනවා. මෝඩ උපදේශකයෝයි මේ වස ගෙන්වන කෝටි ගණන් ලාභ ලබපු ජාවාරම්කාරයොයි එක්කහු වෙලා ජනාධිපතිතුමත් නොමඟ යවලා ආපසු මේක ගේන්න ඕනි කියලා කිව්වා. ඉතිං අපේ සමහර මෝඩ ඇමැතිවරු ටිකත් කිසිම අවබෝධයක් නැතිව කෑ ගහනවා. අපි පැරැදුණේ ගොවියන්ට පොහොර දුන්නේ නැති නිසා කියලා. අපි පැරැදුණේ මොනවත් නිසා නෙවෙයි අපි පැරැදුණේ නිසි වැඩපිළිවෙළක් නැති නිසා. රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ලකෑවා.

ඉතිං ආණ්ඩුවක් පැරැදෙන්නේ නැතිව තියේද.
බොරලන්ද - සමන් නැඳුන්ගමුව

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon