මුදල්, වෙළෙඳ හා කෘෂි අමාත්‍යාංශ අතර සම්බන්ධයක් නැති නිසා ගොවියා අසරණ වෙලා

  👤  3657 readers have read this article !
By mawbima 2018-03-14

මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අන්තර් සම්බන්ධතාවක් නොමැතිවීමෙන් ලක්ෂ ගණනක් ගොවි ජනතාවට සිය ජීවනෝපාය මාර්ග අහිමිවන තත්ත්වයක් උදා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (13දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

අද රටේ හඬක් නඟන්න බැරි ගොවි ජනතාව, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් විශාල අර්බුදයකට ලක්වෙලා තිබෙනවා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය නොදක්වන නිසා. මෑත ඉතිහාසය තුළ ප්‍රථම වතාවට රජය විසින් වෙළෙඳ අමාත්‍යාංශයේ තීරණය අනුව බිත්තර මිලියන 28ක් ආනයනය කරන්න කටයුතු කිරීම නිසා පසුගිය සතිය තුළ විශාල ආන්දෝලනයක් ඇති වුණා. මේ රජය පසුගිය වර්ෂ තුන තුළදීම රටේ කර්මාන්තයේ ප්‍රතිපත්තිය වුණේ මේ රටේ නිපදවිය හැකි මෙන්ම නිපදවිය නොහැකි සියලු දේ හිඟයකින් තොරව පිටරටින් ගෙන්වා වෙළෙඳපොළට ඇතුළත් කිරීම තමයි ප්‍රතිපත්තිය. සිංහල, දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනවා. අවුරුදු කාලයට පාරිභෝගික ද්‍රව්‍යවල ඉල්ලුම වැඩිවීමත් සමඟ ඇතැම් භාණ්ඩවල මිලත් යම් ප්‍රමාණයකින් ඉහළ යනවා. එවිට වෙළෙඳ ජාවාරම්කරුවන් තමන්ටත් මුදලක් තියාගෙන භාණ්ඩ ගෙනත් වෙළෙඳපොළට අතහරිනවා.

දේශීය වශයෙන් තිබෙන භාණ්ඩ ආනයනය කර වෙළෙඳපොළට අතහැරීම අපි තරයේ හෙළා දකිනවා. මෙරට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශයක් කරලා තිබෙනවා රටේ බිත්තර අතිරික්තයක් තිබියදී පිටරටින් බිත්තර ගෙන්වන්නේ ඇයි? මිල ඉහළ නොදමා අවශ්‍යතා සපුරන්න පුළුවන් කියලා.
ලංකාවේ දසදහස් ගණනක් තමන්ගේ ජීවනෝපාය කරගෙන යන්නේ කුකුළු ගොවිපොළවල් ආශ්‍රිතව. රටේ බිත්තර අතිරික්තයක් තිබෙන බව ඔවුන් සඳහන් කරනවා. එහෙම තිබියදී මේ ආකාරයට බිත්තර ආනයනය කරන්නේ කාගේ හරි පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුවයි. විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා එහෙම දෙයක් නොවෙන බව. නිෂ්පාදකයන් දන්නවා මේ වගේ දෙයක් වුණොත් නැවත තිබුණ තැනට කර්මාන්ත ගෙන ඒම අපේ ආණ්ඩුවක් ආවත් කරගන්න බැහැ. කුකුළු මස් හා කුකුළු වෙළෙඳපොළ විනාශ කර දැමීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ඊට විරුද්ධව අප එම

නිෂ්පාදකයන් සමඟ කටයුතු කරනවා. ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රතිපත්ති තීන්දු ගන්න හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මොනම හේතුවක් නිසාවත් බිත්තර ආනයනය කරන්න ඉඩ දෙන්න එපා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව. ජාවාරම්කරුවන්ට බොරදියේ මාළු බාන්න ඉඩදෙන්න එපා. එම බලවේග පරාජය කළ යුතු වෙනවා.
මේ වගේම විනාශ කළා මෙරට ගම්මිරිස් වෙළෙඳපොළ. පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මැතිවරණයෙන් පසුව වහාම ගම්මිරිස් නිෂ්පාදකයන්ගේ ප්‍රශ්නය විසඳලා ආනයනය කිරීම නවත්වන බව. නමුත් එහෙම පියවරක් ගත් බවක් තවමත් පෙනෙන්නට නැහැ. එම නිසා වහාම ඔවුන්ගේ අර්බුදය විසඳිය යුතුයි.

ඒ වගේම දියර කිරි ගොවීන්ටත් තිබෙනවා අර්බුදයක්.
ලංකාවේ පිටිකිරි පිළිබඳ ඒකාධිකාරය පවරලා තිබෙන්නේ ෆොන්ටේරා සමාගමට. මේ සමාගමට විශාල රාජ්‍ය බදු අනුග්‍රහයක් ලබාදී තිබෙනවා. අලුතින්ම තීරු බද්දක් පනවලා. අද වන විට ස්වාභාවික දියර කිරි යොදවලා යෝගට් නිෂ්පාදනය කරන්නේ කිරි මණ්ඩලය පමණයි. සුළු පරිමාණික යෝගට්
නිෂ්පාදනකරුවන් කරන්නේ ලාබෙට තිබෙන කිරිපිටි යොදමින් යෝගට්
නිෂ්පාදනය කිරීමයි. මෙහෙම වුණාම කිරි ගොවීන්ගේ නිෂ්පාදන සඳහා මිලක් ගන්න බැහැ. මේවා නෂ්ට වෙන භාණ්ඩ, කල්තබාගන්න බැහැ. කිරි ගොවියන්ගේ ප්‍රශ්නය ගැන අහන්න කෙනකුත් නැහැ.

වී ගොවීන්ගේ ප්‍රශ්නය ගැන කතා කළොත් ගොවීන් කෙසේ හෝ තමන්ගේ නිෂ්පාදන විකුණා ගන්නේ කෙසේද කියා සිතනවා.
වී වගාව කියන්නේ ලංකාවේ ජනතාව වැඩි වශයෙන් යෙදී ඉන්න ස්වයං රැකියාවක්. ඔවුන්ගේ පොහොර සහනාධාරය කපා හැරලා. පුරන් වුණු කුඹුරුවල වගාකිරීම් අතහැර දමලා. කෘෂිකර්ම ඇමැතිවරයෙක් ඉන්නවා නම් ඔහු වෙළෙඳ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. එහෙම අන්තර් සම්බන්ධයක් මුදල්, වෙළෙඳ, කෘෂිකර්ම අමාත්‍යාංශ අතර නැත්නම් ලක්ෂ ගණනක් වන ගොවි ජනතාවට සිය ජීවනෝපාය මාර්ගය අහිමිවන තත්ත්වයක් තමයි උදාවන්නේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙන්ඩිස් සමාගම මිලට අරගෙන ගිණුමක් පවත්වාගෙන ගිහින් තිබෙනවා. ඒ ගිණුම හරහා රුපියල් මිලියන 1200ක් වියදම් කරලා තිබෙනවා. එම ගිණුමට පනස් වතාවකට වැඩිය මුදල් තැන්පත් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විමර්ශනය කළ යුතුයි.
කෝප් කමිටු සාමාජිකයන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු අතර දුරකතන සම්බන්ධතා තිබූ බවට ප්‍රකාශ වුණා. ලෝකයේ කිසිම රටක කෝප් කමිටුවක් මේ ආකාරයට හැසිරිලා නැහැ. මෙය ලෝක වාර්තාවක්. හැබැයි ලැජ්ජා විය යුතු ආකාරයේ ලෝක වාර්තාවක්.

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් මොනවද කරන්නේ. මේ වංචාවත් සමඟ පාර්ලිමේන්තුව පිළිබඳව තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. මේ සම්බන්ධයෙන්
අපක්‍ෂපාතී ලෙස කටයුතු කළ යුතුයි. ආණ්ඩුව රැකීම නොවෙයි තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි
සිංහල - දෙමළ අලුත් අවුරුද්දට අපි කියන්නේ බත බුලතින් සරු වෙනවා කියලයි. නමුත් අද ඇහෙන්නේ දේශීය නිෂ්පාදකයන්ගේ, පාරිභෝගිකයන්ගේ, වෙළෙඳුන්ගේ මරළතෝනිය විතරයි. අවුරුදු කාලේ අපිට ඇහෙන්නේ කොහාගේ සද්දේ. හැබැයි අද ඇහෙන්නේ කණකොකාගේ හඬ.
රටේ කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා හාලුයි, අලයි පිටරටින් ගෙන්නනවා නම් හොඳයි කියලා. මෙහෙම කෘෂිකර්ම ඇමැති කෙනෙක් ඉන්න රටේ ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon