රටේ යළි ජාතිවාදී අරගලයක් ඇති කිරීමට වෑයම් කරන්නන්ට ඇති වාසිය කුමක්ද?

  👤  3664 readers have read this article !
By mawbima 2018-03-14

රටෙහි නැවතත් ජාතිවාදී අරගලයක් ඇති කිරීමට උත්සාහ දරන පිරිස්වලට අත්වන වාසිය කුමක් දැයි ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන තමාරා කූනනායකම් මහත්මිය ප්‍රශ්න කරයි.

එතුමිය එසේ ප්‍රකාශ කළේ ඊයේ (13දා) කොළඹදී පැවැති 'එළිය' සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී තමාරා කූනනායකම් මහත්මිය මෙසේද පැවැසුවාය.
පසුගියදා රටේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා රටේ ජනතාවට එදිනෙදා මුහුණ දීමට සිදුවන සැබැ ප්‍රශ්න යටපත් වී තිබෙනවා. පසුගියදා පැවැත්වුණු මැතිවරණයේදී ඡන්ද ලබා දුන්නේ මුස්ලිම් ජනතාවට විරුද්ධවත් නොවේ. වත්මන් ආණ්ඩුවට විරුද්ධවයි ජනතාව ඡන්ද ලබාදුන්නේ. බටහිරට ගැති ආණ්ඩුවකට විරුද්ධවයි ජනතාව ඡන්ද ලබාදුන්නේ.

මේ මෑතක සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව කතා කිරීමේදී අපට මතක් වෙන්නේ 1983දී ඇති වුණු ජූලි කලබලයි. එදාත් ඇති වුණේ මේ වගේම තත්ත්වයක්. 1983දී තිබුණෙත් වත්මන් පාලක පක්ෂයේ ආණ්ඩුවකුයි.

එදත් රටේ විශාල ප්‍රශ්න තිබුණා. රටේ ජනතාව හිටියේ පීඩනයෙන්. ආණ්ඩුවට විශාල විරෝධයක් තිබුණා. එම විරෝධය ජනතාවගෙන් අමතක කරවන්න කළු ජූලියක් නිර්මාණය කළා. නමුත් එදා කවුද වැරැදිකරුවන් වුණේ? එදා වැරැදිකරුවන් වුණේ ජනතාවයි. එදා ආණ්ඩුව තමන්ගේ සුජාතභාවය නැති කරගෙන සිටියේ. වත්මන් ආණ්ඩුව තුළත් ඇත්තේ එවැනිම තත්ත්වයක්.

පසුගිය අවුරුදු තුනේදී ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම ඉතා පහළ තත්ත්වයකට වැටිලා කියලා අන්තර්ජාතිකව ප්‍රකාශ වී තිබෙනවා. උදාහරණයක් විදියට එක්සත් ජාතීන්ට අනුයුක්ත සංවිධාන කියන්නේ රටේ ජනගහනයෙන් 25%කට සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට අවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ කියලයි.
අද ආණ්ඩුව ඇතුළේ අර්බුද ඇති වී තිබෙනවා. ජනාධිපති - අගමැති අතර ගැටලු ඇති වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිතයි.
මේ වගේ දේවල්වලින් විදේශීය බලවේගයන්වලට අප රටට අත පෙවීමට හැකි වෙනවා. අපි දැක්කා ඇමෙරිකානු තානාපතිවරයා පසුගිය කාලේ හැසිරුණේ කොහොමද කියලා. මේ සිදුවීම් අන්තර්ජාතික ප්‍රජාව 2015දී මෙරටට කළ ආයෝජනය ඒ කියන්නේ රෙජීම් වෙනස පවත්වාගෙන යෑම වෙනුවෙන් සිදුකළාද කියන ප්‍රශ්නය මතුවෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකාව රටක ගැටුම් ඇති කළොත් ඒ ගැටුම් ඇති කර ගන්නා දෙපාර්ශ්වයටම සහයෝගය දෙනවා. අපේ රටේදීත් වුණෙත් එහෙම දෙයක්ද කියන සැකය අපට මතුවෙනවා.

අරුන් තම්බිමුත්තු මහතා
ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමත් පිළිගත නොහැකි කාරණාවක්. සමාජ මාධ්‍ය අවහිර කළා කියලා මෙවැනි තත්ත්වයක් සමනය කරගන්න බැහැ. සමාජ මාධ්‍ය අවහිර කිරීම මම හෙළා දකිනවා.

අද දෙමළ සන්ධානය සිටින ස්ථාවරය පැහැදිලි නැහැ. ඔවුන් කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියලායි.
මම දෙමළ සන්ධානයෙන් අහනවා ඔවුන්ගේ මූලික ප්‍රතිපත්ති නැත්නම් මූලධර්ම 3 අතහැරලද නැද්ද කියලා.

ඒ ප්‍රතිපත්ති 3 තමයි, දෙමළ ජනතාව කියන්නේ වෙනම ජාතියක් කියන කාරණය. ඒ වගේම උතුරු නැඟෙනහිර කියන්නේ දෙමළ ජනතාවගේ නිජභූමිය කියන දෙය සහ ස්වයං නිර්ණ අයිතිය කියන කාරණාව. මේ කාරණා 3 දෙමළ ජාතික සන්ධානය අතහැරලාද නැද්ද කියලා ඔවුන් පැහැදිලිව කිව යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon