දේශපාලනීකරණයෙන් තොරව අපි අධ්‍යාපනය ඉදිරියට ගෙනයනවා

  👤  3607 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (18).jpg (600×350)

අපේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් තොරව ඉදිරියට ගෙන යෑමයි. සමහරුන් අධ්‍යාපනයට දේශපාලනය එකතු කරන්න හදනවා.
පසුගියදා (13දා) බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කිරීමේ හා විද්‍යාලයේ සියවස් සමරු උළෙලට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස පළ කළේය.

"මගේ අදහස නම් අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් තොරව කළ යුතු බවයි. අපිට වෙනම දේශපාලනය කිරීමට හැකියාව තිබෙනවා. හොඳින් අධ්‍යාපනය කරනවා නම් ඉන් ලැබෙන පිළිගැනීම ඉදිරියට යෑමට ප්‍රමාණවත් වෙනවා යැයි අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

සිද්ධාර්ථ මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. මේ පාසලේ ඉතිහාසය පිළිබඳව අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. රොබට් ද සොයිසා මහතා ඇරැඹූ මේ විදුහලේ සියවස එළැඹෙන විට විශිෂ්ට ආදි සිසුන් ගණනාවක් රටට බිහි කර තිබෙනවා.
ඩබ්ලිව්.ඩී. අමරදේව, හියුබට් එම්. සෙනෙවිරත්න, පී.ඩී. වීරසිංහ, අශෝක ද සිල්වා, එන්.එස්. කුලසිංහ ආදී කීර්තිමත් ආදි සිසුන් ගණනාවක් සිටිනවා. ඇතැමුන් මේ ප්‍රදේශයෙන් අධ්‍යාපනය අරඹා වෙනත් පාසලකට ගියා. සෙසු ආදි සිසුන් මේ විදුහලට පැමිණ අධ්‍යාපනය අවසන් කළා.

රොබට් ද සොයිසා මහතා මේ විදුහල ආරම්භ කළේ මේ විදුහල අවට සිටින සිසු සිසුවියන්ට හොඳ අනාගතයක් ලබාදීමටයි. 1917 වසර වනවිට බොහෝ දෙනකු පන්සලෙන් අධ්‍යාපනය ලබාගත්තා. නැත්නම් පල්ලියේ පාසලට ගියා. ගමේ පාසලක් තිබුණා නම් වසර 5ක කාලයක් පමණක් අධ්‍යාපනය ලැබුවා. එදා වසර 8ක් අධ්‍යාපනය ලැබුවා නම් හොඳ රැකියාවක් ලබා ගැනීමට හැකියාව තිබූ බව කිව යුතුයි. එදා වසර 8ක අධ්‍යාපනය යනු අද සාමාන්‍ය පෙළ විභාගය සමත්වූවකු ලබන රැකියාවටත් වඩා උසස් රැකියාවක් ලබා ගැනීමට හැකියාව තිබුණා. එම අවස්ථාව මේ ප්‍රදේශයට ලබාදීමට සිතූ නිසා රොබට් ද සොයිසා මැතිතුමා මේ විදුහල ආරම්භ කළා.
මේ ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කිරීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දරන උත්සාහය අප අගය කරනවා. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් අපගේ පළාත් අධ්‍යාපන ඇමැතිතුමා 'හැට්ටි්‍රක්' එකක් ගෙන තිබෙනවා. මේ පළාත, දිස්ත්‍රික්ක, කොට්ඨාස සියල්ලම අධ්‍යාපනයෙන් ඉදිරියට ගෙන තිබෙනවා.

අප අධ්‍යාපනයේ දැනුම කොළඹට පමණක් සීමා කරන්නෙත් නැහැ. පළාත් අතර අධ්‍යාපනයේ තරගයක් නිර්මාණය කළ යුතුයි. එම තරගය නිසා සෙසු පළාත්වලටත් කොළඹ සමඟ තරග කිරීමට අවස්ථාව ලැබෙනවා.
එදා රොබට් ද සොයිසා මැතිතුමන්ගේ පරමාර්ථය වූයේ කුමක්ද? එවකට පැවැති යටත් විජිත ක්‍රමය යටතේද දක්ෂ සිසු සිසුවියන් පිරිසක් බිහි කිරීමයි. යහපාලන රජයේ අරමුණ වන්නේද 2017 රැකියා වෙළෙඳපොළට ගැළපෙන සිසු සිසුවියන් පිරිසක් පාසලෙන් පිට කිරීමයි.

වර්තමානයේ රැකියා වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍යයි. එම දැනුම නොමැතිකම විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. පාසලෙන් පිට වුණත්, විශ්වවිද්‍යාලයෙන් පිට වුණත් සමහර අයට ඒ දැනුම තිබෙනවා. එම දැනුම තිබෙන අය ඉදිරියට යනවා. රැකියා ප්‍රශ්නය තිබෙන්නේ එම දැනුම නැති අයටයි.

නව තාක්ෂණ විපර්යාසය හමුවේ පාසල් සිසු සිසුවියන්ට එම දැනුම ලබාදීමට අප කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා කාරණා දෙකක් පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. පළමු වැන්න නම් පාසල තුළදී සියලුම සිසු සිසුවියන්ට අනිවාර්යයෙන් වසර 13ක අධ්‍යාපනයක් ලබාදීමයි. දෙවැන්න උසස් පෙළ හදාරන සියලුම සිසු සිසුවියන් සඳහා තාක්ෂණ දැනුම ලබාදීමට ටැබ්ලට් පරිගණක යන්ත්‍ර ලබාදීමයි. අපගේ අධ්‍යාපනයේ නවීකරණයක් කිරීමට නම් එම කාරණා දෙක සපුරා ගත යුතු වෙනවා.
එක් පිරිසකට වසර 11ක අධ්‍යාපනය හදාරා පාසලෙන් පිටව යන්නත්, තවත් පිරිසකට වසර 13ක අධ්‍යාපනය ලැබීමටත් නොව සියලු දෙනාටම වසර 13ක් අනිවාර්ය අධ්‍යාපනය ලබාදීම අපගේ අරමුණයි. පළමුවෙන්ම අපේ අරමුණ වන්නේ අධ්‍යාපනය එම ඉලක්කය කරා රැගෙන යෑමයි. සෑම කෙනෙකුම විශ්ව විද්‍යාලය කරා යෑමට බලාපොරොත්තු වන්නේ නැහැ. සිසු සිසුවියන්ට විවිධ දක්ෂකම්, හැකියාවන් තිබෙනවා. ඒවා මතු කර ගත යුතුයි. අපේ බලාපොරොත්තුව පාසලේ අවසන් වසර දෙකේදී සිසු සිසුවියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබදීමයි.

එමෙන්ම ක්‍රීඩාවත් විෂයයක් වශයෙන් හැදෑරීමට අවස්ථාව දිය යුතුව තිබෙනවා. පාසලේ වසර 13ක් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඔවුන්ට අනාගතය දෙස බලන්නට කැමැති වෘත්තීය පුහුණුවක් ලබනන්ට අවස්ථාව සලසා දෙමු.

රටක් ලෙස අපිට හැමදාම වෘත්තීය දැනුමක් නැති, අඩු වැටුප් ගෙවන ආර්ථිකයක් පවත්වා ගෙන යෑමට නොහැකියි. අප තරුණ තරුණියන් සඳහා හොඳ ආදායමක් ලබාදීමට නම් දැනුම සහ රැකියා වෙළෙඳපොළ සම්බන්ධ කළ යුතුයි. දැනුම ලබාදීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකීමක්.
ඉන්දියාව උසස් පෙළ දරු දැරියන් සඳහා ටැබ්ලට් පරිගණක ලබාදීමේ ක්‍රමයක් අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වසර දෙක තුනක් ඇතුළත මේ ක්‍රමය සාර්ථක කර ගැනීමට හැකිවේවි. මේ සියලුම දේ එක්වර සෑම පාසලකම ක්‍රියාත්මක කිරීම අසීරු වුවත් අත්හදා බැලීමක් වශයෙන් පාසල් කිහිපයක් තෝරා ගෙන මුලින් එම වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන වසරේදීම මෙම වැඩ කටයුතු ආරම්භ කරනවා. ඊළඟ වසර දෙක අවසන් වීමට පෙර සෑම පාසලකම මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණයි.

බස්නාහිර පළාත මෙන්ම දකුණේද ඉදිරියේදී විශාල ආර්ථික විපර්යාසයක් සිදු වීමට නියමිතව ඇති හෙයින් දකුණේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කිරීම කාලෝචිත ක්‍රියාවක් බව සඳහන් කළ යුතුයි. සියලුම දෙනා එකට එක්වී මේ ගමන යමු. අපේ අවසන් අරමුණ කුමක්ද? රොබට් ද සොයිසා මැතිතුමාගේ අරමුණ වුණේ මේ ප්‍රදේශයේ එදා සිටි සිසු සිසුවියන්ට හොඳ අනාගතයක් ලබාදීමයි. අපේ පරමාර්ථය වන්නේ සමස්ත රටවාසී තරුණ පරපුර වෙනුවෙන් හොඳ අනාගතයක් උදා කර දීමයි. දැනුම ලබා දීමයි.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර, සංජීව මණික්කුවාවඩු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්