රටත් පක්‍ෂයත් බේරා ගැනීමට මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදමු

  👤  3756 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (19).jpg (600×350)

රටත් පක්ෂයත් ආරක්ෂා කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කළ යුත්තේ ආණ්ඩුවෙන් එළියට බසින්නට සූදානම් මැති ඇමැතිවරුන් ශක්තිමත් කොට ආශීර්වාද කිරීම මිස ඔවුන් අධෛර්යවත් කිරීම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

මේ උදාවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මර උගුලෙන් රට බේරා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව බව පැවැසූ මන්ත්‍රිවරයා සදාකල් එ.ජා.ප.යේ ඉඳුල් කකා පිළිකන්නේ ලගිනවාද එසේත් නැත්නම් රටත් ජාතියත් වෙනුවෙන් ආණ්ඩුවෙන් එළියට බැස නව ආණ්ඩුවකට පෙළ ගැසෙනවාද යන්න නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තීරණය කළ යුතු බවත් පැවැසීය.
මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවකට උඩුගම්පොළ දී පෙරේදා (15දා) එක්වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ලොකු ලොකු කතා කියාගෙන බලයට ආපු ආණ්ඩුව දැන් රටටම එපාවෙලා ඉවරයි. අද රට පුරාම ලොකු විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා රටට ආදරය කරන අලුත් ආණ්ඩුවක් අද හෙටම බිහිවෙයි කියලා. හැමකෙනාගෙම හිතේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ අමන ආණ්ඩුව ගෙදර යවලා ආයෙත් මේ රටේ පාලනය භාර ගනියි කියලා.

රට පුරාම ඇතිවී ගෙන යන ආණ්ඩු විරෝධී කැරැල්ල අද ආණ්ඩුව ඇතුළටත් කාන්දු වෙලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් දැන් ආණ්ඩුවෙන් එළියට බහින්න ලැහැස්ති වෙලා ඉන්නවා. මේ කැරැල්ලට බයවෙච්ච ආණ්ඩුව ඒක මර්දනය කරන්න නොයකුත් සැලසුම් හදනවා. ආණ්ඩුවට ඕනේ කොහොම හරි බලයේ ඉන්නයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවදාවත් රට, ජාතිය, ආගම ගැන හිතපු පක්ෂයක් නෙවෙයි. දේශද්‍රෝහී වැඩ කරන එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලපු නිදහස් පක්ෂයටත් අද ඒ හංවඩුව වැදීගෙන එනවා. මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැතිවරුන් කණ්ඩායමක් ආණ්ඩුවෙන් එළියට බහින්න ලැහැස්ති වෙන්නේ අන්න ඒකට විරෝධය පාලයි. හදවතට එකඟව ඒ අයට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂයේ මර උගුලෙන් රට නිදහස් කරලා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ශක්තිය දෙන එක තමයි නිදහස් පක්ෂයේ නායකයාගේ යුතුකම වෙන්න ඕනේ. හැබැයි මේ නායකයා කැමැති එ.ජා.ප.යේ ඉඳුල් කකා ඉන්න පක්ෂයකට මිසක් රටේ පාලන බලය අතට ගන්න පක්ෂයකට නෙවෙයි කියන එක තමයි මේ දවස්වල කියන කතා ඇහුවාම අපට තේරුම් යන්නේ.
ජනාධිපතිවරයා දෙසැම්බර් වෙනකම් ආණ්ඩුවෙන් යන්න එපා කියලා මේ ඇමැතිවරුන්ට කියන්නේ එයා හිතනවා ඇති දෙසැම්බර් වෙද්දි මහින්ද මහත්තයාට රටේ තියෙන කැමැත්ත නැති වෙයි කියලා. සමහර විට බොරු චෝදනා එල්ල කරලා මහින්ද මහත්තයා ඇතුළු අපි කණ්ඩායම දුර්වල කරලා තවදුරටත් ආණ්ඩුව කරගෙන යන්න මේ අය සැලසුම් කරනවා ඇති.

අපට දැනගන්න ලැබිලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂය මේ ගහ හොලවලා තියෙන කොට තවත් සමහර කණ්ඩායම් ගෙඩි අහුල ගන්න ලැහැස්ති වෙනවා කියලා. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ. මේ ආණ්ඩුව එළවලා හදන ආණ්ඩුව අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ කියන ජනතා නායකයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවක් විය යුතුයි. වෙනත් කෙනෙක්ගෙන් අපට වැඩක් නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්