නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමෙන් වළකින්නැයි නාහිමිවරුන් කළ ඉල්ලීමට විපක්ෂයෙන් ලැබුණු ප්‍රතිචාර මදි

  👤  3565 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (24).jpg (600×350)

බෙදුම්වාදී වගන්ති ඇතුළත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ඒමෙන් වළකින ලෙස තෛ්‍රනිකායික මහ නායක හිමිවරුන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයට විපක්ෂය හෝ ඒකාබද්ධ විපක්ෂයෙන් හෝ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබුණු බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
ධම්මරතන හිමියෝ මෙසේ පැවැසුවේ මහජන රාජ්‍ය සභාව විසින් රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු කාර්යාලයේ ඉකුත්දා (13දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

ජාතිවාදය පදනම් කර ගනිමින් රට දෙකඩ වීමට තුඩුදෙන ආකාරයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ඒමෙන් වළකින ලෙස තෛ්‍රනිකායික මහනායක හිමිවරුන් විසින් කරන ලද්දේ ඓතිහාසික ප්‍රකාශනයක්. නොබෙදුණු ඒකීය රටක් ප්‍රාර්ථනා කරන සියලුම අය උන්වහන්සේලාගේ ප්‍රකාශනය අගය කළ යුතුයි. උන්වහන්සේලාව දිරිමත් කළ යුතුයි.

නමුත් ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන ඒකාබද්ධ විපක්ෂය, මහ නායක හිමිවරුන්ගේ ඒ ප්‍රකාශනය ප්‍රමාණවත් ඇගැයීමට ලක් කිරීමක්වත් එයට නිසි ප්‍රතිචාරයක් දැක්වීමවත් නොකිරීම ගැන අපට ඇත්තේ කනගාටුවක්. අප ඉල්ලීමක් කරනවා ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙන් ඉල්ලා අස්වෙන්න කියලා.

අද පිංකැටවලට සීල් තියනවා. පන්සල්වලට සීල් තියනවා. මෙහෙම පන්සල්වලට සීල් තියන්න ගියොත් මිනිසුන්ට සිල් ගන්න තැනක් නැති වෙනවා.
පුරාවිද්‍යා පනත ගෙනැවිත් තවම අවුරුදු සීයක් ගතවෙලා නැහැනෙ. මේ සීල් තියන්න හදන රජමහා විහාරවලට අපි වන්දනාමාන කරන්නේ වසර දහස් ගණනක කාලයක සිටයි. සම්ප්‍රදායක් ලෙසින් වසර දහස් ගණනක සිට මේ දක්වාම තේවාවන් පුද පූජාවන් පවත්වන ආගමික සිද්ධස්ථානවලට නීති දාන්න ආණ්ඩුවට බැහැ. පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
එහිදී ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙසේ පැවැසීය.

"රටකට ජාතියකට හෝ පුද්ගලයකුට සිදුවිය හැකි ලොකුම විනාශය තමයි ස්වාධීනත්වය නැතිවීම. ජපානය දියුණු වුණේ ඒ රට ස්වාධීනව රට පාලනය කළ නිසයි. විදේශීය ඇඟිලි ගැසීම්වලට යට වෙනවා නම් විදේශීය රටවල් කියන විදියට ආර්ථිකය මෙහෙයවනවා නම් රටක් දියුණු වෙන්නේ නැහැ.

ලංකාව, ඉන්දියාව වැනි රටවල් බටහිර ජාතීන් විසින් අත්පත් කර ගන්නා විට සමෘද්ධිමත් රාජ්‍යයන්. නමුත් අධිරාජ්‍යවාදීන් විසින් අපට නිදහස ලබාදෙන කොට අපි දුප්පත් රටවල් බවට පත්වෙලා තිබුණේ. අපිව යටත් කරගත් බටහිර රටවල් දියුණු වුණේ අපේ රටවල සාරය උරා බීලා. අපට නිදහස ලැබුණ කිව්වට නිදහසක් ලැබුණේ නැහැ. ආර්ථික නිදහස, දේශපාලන නිදහස අපට ලැබිලා නැහැ. ආර්ථිකය මෙහෙයවන්නේ බටහිර ධනවත් රටවල්. අපේ දේශපාලන දිශානතිය තීරණය කරන්නේත් ඒ රටවල්ම තමයි. රටක් කරගෙන යන්නේ ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. අපේ මිනිසුන්ට අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ බටහිර රටවලට අවශ්‍ය ආකාරයටයි.

සපුමල් ජයසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්