ආණ්ඩුවේම පිරිසක් අපේ ගමනට කකුල් මාට්ටු දානවා

  👤  3587 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (27).jpg (600×350)

මේ ආණ්ඩුවේම ඉඳගෙන රජයේ කටයුතු විවේචනය කරමින් අපේ රජයේ ගමනට කකුල් මාට්ටු දමන පිරිසකුත් සිටීම විශාල බාධාවක් වී තිබෙනවා" යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
"මේ ආණ්ඩුව ගොඩනැඟීමට කැපවුණු යූ. ඇන්. පී. කාරයන්, පැරදුණු මිනිස්සු ඇතුළට ආවම මේ වගේ ප්‍රශ්න එයි කියා මුල සිටම පැවසුවා" යැයි ඇමැතිවරයා අවධාරණය කරයි.

"අද අපේ රජයේම ඉන්න සමහර ඇමැතිවරු කියන කරන දේවල් දැක්කම අපි එදා කියපු දේවල් ඇත්ත කියලා දැන් පේනවා. අගමැතිතුමත්, ජනාධිපතිතුමත්් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන වගේම රජයේ ගමනට බාධා වන දේවල් ඉවත් කරන්න කටයුතු කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා.
අද දේශපාලනිකව ආනාථ වුණු ඇතැම් දේශපාලකයන් ක්‍රමයෙන් නිවැරැදි මඟට රට එනවා දකින්න කැමැති නැහැ. එදා සන්දර්ශනවලින් වහපු දූෂණය අද වෙන්නේ නැහැ. නමුත් ඉතිහාසයේ විඳපු සුරසැප යළිත් ලබාගන්නට වුවමනා නිසාම මේ උදවිය අද රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ව, විශ්වවිද්‍යාල සිසුන්ව දේශපාලන ඉත්තන් කරගෙන තිබෙනවා. අවාසනාවකට වගේ මේ උදවියත් දැන හෝ නොදැන මේ දේශපාලන උප්පරවැට්ටියට හසුවී තිබෙනවා.

අද සමහරු පන්සල තමන්නේ දේශපාලන වේදිකාව කරගෙන තිබෙනවා. ඒ යන ගමන් මහා සංඝරත්නයටත් රටේ ජනතාවටත් නොහදපු ව්‍යවස්ථාවක් ගැන බොරු බේගල් කියනවා. බුදු දහමට තියෙන තැන නැති කරනවලු. සිංහල ජාතියට තියෙන තැන නැති කරනවලු. මේ දේවල් කියන අතරේ මහා සංඝරත්නයත් රජයත් අතර විරසකයක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ සියල්ල අමූලික බොරු, අසත්‍ය කියලා මම කියනවා.

තවම කෙටුම්පතක්වත් නැති ව්‍යවස්ථාවක් ගැනයි මේ බොරු කියන්නේ. අපිත් සිංහල බෞද්ධයෝ විදියට ඒ වගේ අසාධරණයක් වෙන්න ඉඩ තියයිද? නමුත් මේ රටේ ජීවත් වන සියල්ලන්ගේ අයිතීන් අප රැකිය යුතුයි. ඒකමයි අපි ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ. බලය ගන්න ආනන්තරීය පාපකර්මය කරගත්ත මේ දේශපාලන අවස්ථාවාදීන්ට කියන්න තියෙන්නේ බල්ලෝ බුරත්දෙන්, තවලම ඉදිරියට යනවා කියලා තමයි.

අද සමහර වෘත්තීය සමිති රට කරවන උදවිය කියලා හිතාගෙන කතා කරන ස්වභාවයක් දක්නට තිබෙනවා. ඒ අය තමන්ගේ වෘත්තීය ගැටලු ගැන විතරක් නොවේ රජයේ තීන්දු තීරණ ගතයුතු විදිය ගැනත් පාඩම් කියාදෙන අය කියලා හිතාගෙන ඉන්නවා. මමත් වෘත්තීය අංශය එක්ක කටයුතු කළ ඇමැතිවරයකු විදියට දන්නවා වෘත්තීය සමිතියක කාර්යභාරය මේක නොවේ කියලා. මේ අය අද ඉටුකරන්නේ දේශපාලන අනාථයන්ගේ උවමනාවන්.

අපි ආණ්ඩුවක් විදියට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන රජයක්. ඒ තුළ තමන් කැමැති මතයක් දැරීමට මේ අයට ඉඩකඩ තියෙනවා. නමුත් රටක් කරන කොට රජයක් විදියට අපි තීන්දු තීරණ ගත යුතුයි. එහෙම තීන්දු ගන්නේ සමස්ත රට ගැනම හිතලා. අද අපේ රජය සංහිඳියා ගමන්මඟ තුළ ඉන්නවා. මේ අය හැමදේටම උද්ඝෝෂණ, වැඩ වර්ජන කරන්න සැරසෙන්නෙ දේශපාලනික උවමනාවන් ඉටු කරන්න මිසක් රට වෙනුවෙන් නම් නොවේ."
මොනරාගල, කුඹුක්කනදී පැවැති පක්ෂ ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමේ හමුවකදී ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මෙලෙස පැවැසීය.

ජේ. ටී. ද සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්