උතුරේ මහ ඇමැති පොලිස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්

  👤  3595 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (28).jpg (600×350)

මුලතිව් - ශෂි කුමාර්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ සිවිල් පරිපාලනය විධිමත් කරවීම සඳහා සියලුම පොලිස් නිලධාරීන්ගේ විශේෂ හමුවක් උතුරු පළාත් සභාවේදී පැවැත්විණි.

යාපනය කයිතඩිහි පිහිටි උතුරු පළාත් සභා ශාලාවේදී පැවැති මේ රැස්වීමට උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු සහ යාපනය නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා, යාපනයේ පොලිස් අධිකාරි ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් මෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සමන්විත ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවී ඇත.

මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක වන වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරය හා වැලි ප්‍රවාහනකරුවන් හට ලබා දෙන බලපත්‍රවලට අමතරව වැඩි වශයෙන් වැලි ප්‍රවාහනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු ආකාරය සම්බන්ධයෙනි.
ඊට අමතරව යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලි සම්බන්ධයෙන්ද සාකච්ඡා කොට තිබේ. අදාළ කල්ලිවලට තරුණයන් සම්බන්ධ වීම හා ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් යන කාරණා නැවැත්වීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කොට ඇත.

යාපනයේ පොලිස් ස්ථාන කිහිපයක් පෞද්ගලික ඉඩම්වල පිහිටා තිබීම නිසා එම පොලිස් ස්ථාන ප්‍රාදේශීය සභා හරහා වෙනත් ස්ථාන වෙතට රැගෙන යෑමටත් සාකච්ඡා කොට ඇත. යාපනයේ රැකියා විරහිත උපාධිධාරීන්ව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලවලට බඳවා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන්ද මෙහිදී උතුරු මහ ඇමැතිවරයා හා පොලිස් නිලධාරීන් සාකච්ඡා කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්