රනිල් විශ්වාසභංගය දිනුවේ ශ්‍රී ලනිපයේ බෙදීම නිසයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

  👤  3671 readers have read this article !
By mawbima 2018-04-15

• ඔබ තවදුරටත් අමාත්‍ය ධුරය දැරීම සදාචාර සම්පන්න නෑ නේද?
අපි ඇත්තටම ඉවත් වීම පිළිබඳව අවසර ලබා ගැනීමට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. හේතුව මේ ආණ්ඩුව හැදිලා තියෙන්නෙ පක්ෂ දෙකකින්නේ.
මමත් හිතනවා අපිට සදාචාරාත්මක අයිතියක් නෑ කියලා විශ්වාසභංගයෙන් පස්සෙ කැබිනට් මණ්ඩලයෙ ඉන්න. එතන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ඒ ඉල්ලීම කරන්න ඕනෑ ජනාධිපතිතුමාගෙන්.

• හැබැයි තමන්ගෙ අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න ජනාධිපතිවරයාගේ අවසරය අවශ්‍ය නෑ නේද?
පුළුවන්. හැබැයි පක්ෂ නායකයා හැටියට අපි එතුමගෙන් ඉල්ලීමක් කරන්න ඕනෑ කියලා අපි තීන්දු කළා අපේ අදහස එතුමාට කියන්න. මෙහි අවසන් තීන්දුව කොහොමත් ගන්නෙ එතුමනෙ. එතුමා පිළිගන්න ඕනෑ අපේ ඉල්ලා අස්වීම.

• මෙම විශ්වාසභංගය පිළිබඳ ශ්‍රී ලනිප පාර්ශ්වය මුලින්ම කිව්වත් පසුව ඒකාබද්ධ විපක්ෂය විසින් විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළා. සමහරු කිව්වා මේක පරාද වුණොත් ඉර පායන්නෙත් නෑ කියලා. ඔබලා ඒ ලණුව ගිල්ලද?
මේ විශ්වාසභංගයට අපි ඡන්දෙ දෙනකොට අපි දැනගෙන හිටියා අපට ජයගන්න බැහැ කියලා. නමුත් අපි අතර යම් එකඟතාවක් තිබුණා. ඒ එකඟතාව සමහරුන්ට කඩ කරන්න පුළුවන් වුණාට අපිට ඒක කරන්න බැහැ. ඒක අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගත්ත තීන්දුවට වඩා අපි ශ්‍රී ලනිපය ප්‍රතිපත්තියක් එක්ක ගත්තු තීන්දුවක්. ඒ නිසා අපි ලණුවක් කෑවා නෙමේ. ඇත්ත වශයෙන්ම දැනගෙන තමයි අපි මේකට ඡන්දෙ දුන්නෙ.
අපිව පත්කරපු ජනතාව ගැන අපිට වගකීමක් තියෙනවා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න. මොකද මේ ජාතික රජය පිහිටුවන කොට වසර 2කට පමණයි අවසර අරන් තිබුණෙ.

• කොහොම හරි ඒ වසර දෙකේ බලයත් ඔබලාට අමතක වුණාද?
නෑ. ඡන්ද අනම් මනම් ආපු නිසා ඒ වසර දෙක ගැන අපිට සාකච්ඡාවකට යන්න බැරිවුණේ. ඒවත් අපි හිතේ තියාගෙන තමයි මේ තීන්දුවට එකඟ වුණේ.

• බොහෝ අයගෙ මතය වුණේ ඔබ අගමැතිට එරෙහිව අත උස්සනවා නම් මුලින්ම ඇමැතිකමින් ඉවත් විය යුතුව තිබුණ කියලා?
නොයෙකුත් මත තියෙනවා. නමුත් ඒක ලංකාවේ තියෙන ක්‍රමය අනුව අගමැතිවරයා කියන්නෙ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා නෙමේ. අගමැති කියන්නෙ තවත් අමාත්‍යවරයෙක් ව්‍යවස්ථාව අනුව. ඒ නිසා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීම කියන එක කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ කොයි වෙලාවකවත්. අපි මේකෙ රැඳිලා ඉන්න ඕනෑ කියලා අදටත් අදහසක් නෑ. කොහොමත් අපි ඉල්ලා අස්වීමේ ලිපි ලේඛන භාරදීලා තියෙන්නෙ.

• අද වනවිට ඔබලා ගත් තීන්දුව ගැන යම් තරමකින් හෝ පසුතැවීමක් තියෙනවාද?
නෑ. දේශපාලනයේදී බලය වරප්‍රසාද කියන එක, අහිමි වීම හෝ ලැබීම කියන ඒවා ගැන මට කවදාවත් පශ්චාත්තාපයක් හෝ ප්‍රීතියක් තිබිලා නෑ. ඒ දේශපාලනයේ ස්වභාවය.

• විශ්වාසභංගයට පක්ෂයේ සියලු දෙනාගේ ආශීර්වාදය තිබුණා නම් මොකද 16 දෙනකුට විතරක් සීමා වෙන්නේ?
ඇත්තටම ඒක තමයි ප්‍රශ්නෙ. මං හිතනවා අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ 39 දෙනාම එක තැනක හිටියා නම් සමහර විට මේ විශ්වාසභංගය සාර්ථක වෙලා. මොකද අපි හොඳටම දන්නවා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ මන්ත්‍රිවරු ගණනාවක් මේකට එකඟ වෙලා හිටියා. නමුත් අවාසනාවට වගේ අපේ කණ්ඩායමේ කොටසක් තීන්දු කළා අපි ගැලවී සිටිනවා කියලා. ඒ උඩ ශ්‍රී ලනිපයෙ තිබුණු බෙදීම මත තමයි අගමැතිවරයා විශ්වාසභංගය ජයග්‍රහණය කළේ. ඒ තීන්දුව ගත්තෙ ඇයි කියලා මං දැන්නෙ නෑ. නමුත් ඒ ගැන මං කනගාටු වෙනවා. මොකද ශ්‍රී ලනිප ලෙස අපට තිබුණා එකට තීන්දු ගන්න.

• ඔබ හිතන විදිහට ඉතිරි 23 දෙනා හිරවුණේ කාගෙ බලපෑමකටද?
මම කාගෙවත් බලපෑමක් ගැන කියන්න දන්නේ නෑ. නමුත් යම් බලපෑමක් ඒගොල්ලන්ට එල්ල වෙන්න ඇති. මට පේන විදියට සමහර අයට ගිලිහෙන අමාත්‍යාංශ ගැන විශ්වාසය හදලා තියෙනවා. කට කතා විතරයි. කෙසේ වෙතත් ඒ තීන්දු ගත් උදවිය පක්ෂයේ ඉදිරි පැවැත්මට බාධාවක් කියලා මං හිතනවා. පක්ෂයක් ලෙස අප එකට සිටිය යුතුව තිබුණා. මොකද අපේ පක්ෂය දැන් කණ්ඩායම් කිහිපයකට කැඩිලා තියෙන්නෙ.

• ඔබ කියූ ආකාරයට දෙකඩ වී තිබූ ශ්‍රී ලනිපය විශ්වාසභංගය නිසා තව තවත් විසිරුණා නේද?
තවමත් අපි උත්සාහ කරනවා සියලු දෙනාම එක තැනකට එන්න. නමුත් අපි එක්තරා විදිහකට භේද වෙලා ඉවරයි. එය ශ්‍රී ලනිපයට විශාල හානියක්.

• ඒ භේදභින්නකමට මුල් වෙලා තියෙන්නෙ පක්ෂ නායකත්වයේ දුබලකමක් නිසාද?
නෑ. ඕනෑම දේශපාලන පක්ෂයක විවිධ කාලවල ඇතිවෙන විවිධ අදහස් උඩ ඒ පක්ෂය තුළ මතභේද ඇතිවෙන්න පුළුවන්. අදත් තියෙන්නේ මතභේදයක්.
ඒ මතභේදය වෙන්ව යෑමකට තල්ලු කරන්න අපි කැමැති නෑ. අපි අදත් කියන්නේ ශ්‍රී ලනිපය එකට සිටිය යුතුයි කියලා. ඒ මතභේද ගැන සාකච්ඡා කරන්න පැසුණු භාවයකුත් අපට තියෙනවා. ඒක වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා මං දකින්නෙ නෑ ඒක වෙන්ව යෑමක් කියලා.

• ඔබ හිතන විදිහට මේ අසාර්ථකත්වය පිටුපස කවුද ඉන්නේ?
මං දකින ප්‍රධානම කාරණය තමයි මේ පිළිබඳ අපේ පක්ෂයේ ඇති වූ මතභේදය. විශේෂයෙන්ම කොටසක් කල්පනා කළා මේ විශ්වාසභංගයට ඡන්දය දීමෙන් ඊළඟට මොකද වෙන්නෙ කියලා. ඒ ගොල්ලො ලොකු භීතියකින් හිටියා. ඒ නිසා ඒ අය කල්පනා කළා මේකට පක්ෂ නොවීමෙන් තියෙන තත්ත්වය එලෙස පවතීවි කියලා.
අපි කල්පනා කෙරුවා මේ හරහා අපේ රටේ දේශපාලනයේ සන්ධිස්ථානයක් ඇති කරන්නත් ඒ දේශපාලන ක්‍රමය ඇතුළේ අපිට යම් ආකාරයක අලුත් දෙයක් ගොඩනඟන්නත්. අපි කොයි වෙලාවෙත් කිව්වේ වඩා ජනතා හිතවාදී අදහස් මේ ආණ්ඩුවේ තිබිය යුතුයි කියලා.

• එහෙනම් ඔබ පිළිගන්නවාද ආණ්ඩුවට ප්‍රබල චෝදනා එල්ලවී හමාරයි කියලා?
ඔව්. ආණ්ඩුවට චෝදනා තිබෙනවා. එක පැත්තකින් රටේ සාමාන්‍ය ජනයාගෙන් විශාල චෝදනාවක් එල්ලවී තිබෙනවා. අනිත් පැත්තෙන් සිංහල බෞද්ධකම පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. ජාතික ප්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග අරගෙන නෑ කියනවා. ආර්ථිකය ගැන විශාල ගැටලු තියෙනවා.
මේ නිසා අපිට යම් කිසි අලුත් හුස්මක් අවශ්‍යයි කියන එක කවුරුත් අද පිළිගන්නවා. ඒකට අවශ්‍ය මූලෝපායක් සැපයීම තමයි අපට අවශ්‍ය.

• පක්ෂයට මෙවැනි ඉරණමක් අත්වුණේ මෑතක සිට කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා.
අපි අවුරුදු 2 සිට රජයේ සිටිය යුතුද නැද්ද කියලා සෑහෙන්න කතා කරනවා. ජෝන් සෙනෙවිරත්න වගේ ඇමැතිවරු මේ ගැන එළියෙදි කිව්වා. අපි කල්පනා කළා අවුරුදු දෙකකට පස්සෙ රජයකට යනවා නම් එය කොහොමද කරන්නෙ කියලා. නැවත සාකච්ඡා කරන්න. මොකද ශ්‍රී ලනිපයයි එජාපයයි හැමදාම එකතු කරන්න බෑනෙ. ඒ නිශ්චිත කාලයකට ඒ කාලය ඇතුළත පවා අපි සම්මුතිවාදී ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න බොහෝ කාරණාවලදී අසමත් වුණා. ඒ නිසා අපි කල්පනා කළා දෙකෙන් පස්සෙ යෑම නිශ්ඵලයි කියලා.
ඉතින් ඒ තර්කය ගොඩනගන්න බැරි වුණත් ඒක දීර්ඝ කාලයක් පක්ෂය තුළ කතාවෙවී ආ දෙයක්.

• විශ්වාසභංග යෝජනාව පරද්දන්න විශාල ප්‍රමාණයේ මුදල් ගෙවීමක් සිද්ධ වුණා කියලා වාර්තා වෙනවා?
මට නම් කවුරුත් මුදල් දික් කරලා නෑ.

• නමුත් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට මිලියන ගණනක් ලබාදුන්නා කියලයි ආරංචි?
නෑ. මං ඒ ගැන දන්නෙ නෑ. ඒක එහෙම නම් තවදුරටත් ඕක මහජන රහසක් වෙන්නෙ නෑනේ. ඒ කියන්නේ මෙවැනි දේවල් සිද්ධ වුණොත් දේශපාලනයේදී හෙළිදරව් වෙනවා. ඒ හෙළිදරව් වීම වළක්වන්න බෑ.

• ඒකාබද්ධ විපක්ෂයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා හඳුන්වපු විදියට මේ විශ්වාසභංග බෝම්බයෙන් වැඩිම හානිය වුණේ ඔබේ පක්ෂයට නේද?
ශ්‍රී ලනිපය කියන්නෙ මේ රටේ තියන ප්‍රබලම දේශපාලන පක්ෂය. මම හිතන්නෙ නෑ මහින්දානන්දට හරි කාට හරි මේ පක්ෂය කඩලා ඒකෙන් සතුටක් ලබන්න පුළුවන් කියලා. මොකද ඒ අයත් ශ්‍රී ලනිපයේ. අපි හැම වෙලාවෙම උත්සාහ කෙරුවේ අපිත් සමඟ වගේම එළියෙ ඉන්න අයත් සමඟ සම්මුතිකව වැඩකරන්න. සමහර අවස්ථාවලදී සාර්ථක වෙනවා. සමහර අවස්ථාවලදී අසාර්ථක වෙනවා.
ශ්‍රී ලනිපය බෙදීමකින් කාටවත් යහපතක් වෙන්නේ නෑ. ඒ වගේ මත දරන අය ලංකාවේ දේශපාලනය පිළිබඳ බොහෝම පටු විදිහට හිතන අය. අපි දන්නවා ලංකාවේ දේශපාලන බලවේග කියන්නෙ එකතු වෙන බලවේග. වෙන් කරලා කඩලා බලවේග හදන්න බෑ.

• පක්ෂ මහ ලේකම්වරු දෙදෙනාත් මේ විශ්වාසභංග යෝජනාව ගැන ඔබලාගේ ස්ථාවරයේම සිටියා. නමුත් පසුව එය වෙනස් වුණා. පක්ෂ තීන්දුවලට පටහැනිව කටයුතු කළේ ඔබලාද? ඔවුන් දෙදෙනාද?
අවසානෙටම අපි පක්ෂ මන්ත්‍රි කණ්ඩායම එකඟ වුණේ එක කාරණයකට. ඒ තමයි විශ්වාසභංගයට පෙර අගමැති ඉල්ලා අස්විය යුතුයි කියන කාරණය. ඒකෙ අනියමාර්ථය මොකක්ද?
ඒ කියන්නෙ අපි ඒකට පක්ෂව ඡන්දෙ දෙනවා කියන එකනේ. ඒකට අපි ඔක්කොම එකඟ වුණා. ඊට පස්සෙ තමයි මේ කණ්ඩායම් දෙකක් හැටියට බෙදුණෙ.
• මේ වගේ මහ ලේකම්වරු දෙදෙනෙක් සමඟ කොහොමද විශ්වාසය තබන්නේ?
ඒක පක්ෂය තීන්දු කරන්න ඕනෑ දෙයක්. මම තීන්දු කරන්න හොඳ නෑ. මට ඒ ගැන ප්‍රකාශ කරන්න අයිතියකුත් නෑ. මොකද ඒ මහ ලේකම්වරු දෙන්නටත් සාධාරණ අවස්ථාවක් දෙන්න ඕනෑ තමන් ගත්තු තීරණය හරිද වැරැදිද කියලා පක්ෂය ඇතුළෙ කතා කරන්න.

• විපක්ෂයේ වාඩිවෙන්න ඔබලා ලෑස්තිද?
අපේ අදහස තිබෙන්නෙ අපි විපක්ෂයේ වාඩිවෙනවා කියලා ශ්‍රී ලනිප කණ්ඩායමත් එක්ක. අපි ඒකෙන් අදහස් කරන්නෙ නෑ අපි මේ සෑම දේකටම විරුද්ධ වෙන විපක්ෂයක් කියලා. අපි එහි ඉතාම වැදගත් භූමිකාවක් ඉටුකරන්න කැමැතියි. රජයක් වුණත් කරන හොඳ දේකට සහාය දෙන්නත් වැරැදි දෙයක් පිළිබඳ විවේචනය කරන්නත් රටේ පවතින කරුණු ගැන මීට වඩා පුළුල් විග්‍රහයක නිරත වෙන්නත් අපි කටයුතු කරනවා.

• මෙවැනි තීන්දුවලට එන්න හේතුව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලනිපයට ලැබුණු ප්‍රතිඵලයත් එක්කද?
ප්‍රතිඵලය අපිට ලොකු බලපෑමක් කළා. දේශපාලනය අවසාන තින්දු ගත්තෙ අපි නෙමෙයිනේ, මහජනයානේ. අපි නියෝජිතයෝ විතරයි. විශාල පිරිසක් අපි දරපු මතයට වඩා වෙනස් මතයක් දැරුවා.
ඒ මතය ගැන සාකච්ඡා කළා. එය නොතකා හැරලා වෙන වෙන අර්ථකථන දීලා ඒක මේ නිසා වුණේ, ඒ මේතරම් ගණන් ගන්න ඕනෙ නෑ කියලා කියනවට වඩා ඒ අදහස ගැන සාකච්ඡා කළා. ඒ විදිය ගත්තම ජනතාව රජය ගැන දැවැන්ත කලකිරීමට ලක්වෙලා.

• ඔය ලද ප්‍රතිඵලයම මහ මැතිවරණයේදී ලැබෙයි කියලා ඔබලා බයවුණාද?
ඇයි එහෙම ඔබ අහන්නේ?

• විශ්වාසභංග වැනි විශේෂ අවස්ථාවලදී ශ්‍රී ලනිපය අවදිවෙලා වගේ කියලයි මතයක් ගොඩනැඟිලා තියෙන්නේ?
අපේ ස්ථාවරය බොහෝම සරලයි. අපි ඉන්නෙ එජාපයට විරුද්ධ පිලේ. අපි එජාපයට කිට්ටු පිල ඇතුළෙ සාර්ථක වෙන්නෙ නෑ. මං හිතනවා පක්ෂයක් හැටියට අපි ඒගොල්ලන්ටත් කරන වරදක් අපි ඔවුන්ට කිට්ටුවීම හරහා අපේ නියම අයිතිකාරයෝ ඉන්නෙ එජාපයට විරුද්ධ පිලේ. මහජනතාව දරන මතයට එකඟවීම හැර වෙන දේවල් කියලා වැඩක් නෑ.

• ඔබලාගේ මධ්‍යම කාරක සභාවේදී කැබිනට් වර්ජනයක් ගැන තීන්දුවකට ආවා. ඇමැතිකම් අත්හරින්න සූදානම් නම් ඇයි මෙවැනි තීන්දුවලට එන්නෙ? ඇමැතිකම් දාලා යන්න අදහසක් නැද්ද?
නෑ... නෑ... මේක තමයි ඇත්ත. අපි ඇමැතිකම් දාලා යන්න ලෑස්ති වුණේ පළමුවැනි දවසෙ ඉඳලානේ. ඔබ දකින්න ඇති මොනතරම් අවලාද අපිට නැඟුවද? අපි අවුරුදු තුනක් එකට වැඩකරපු අය. එක මොහොතකදී ඒගොල්ලන්ට පුළුවන් වුණා විශාල විවේචනයක් කරන්න. පසුපෙළ හරි ඉදිරිපෙළ හරි. මාත් දන්නෙ නෑ කවුද කියලා. ඒ නිසා ශ්‍රී ලනිපය විවේචනය කරද්දී අපිට දැනෙනවා. අපි හුදෙකලා නෑනේ. 16 ක් කිව්වට අපි තමයි ශ්‍රී ලනිපයෙ පැරැණිතම සහ ජේ‍යෂ්ඨතම පිරිස. අපි පිටිපස්සෙ ගොඩක් මිනිස්සු ඉන්නවා.

• හොඳම රාජ්‍ය නායකයන් බිහිවෙච්ච, ලොව ප්‍රථම අගමැතිනිය පවා බිහිවූ ශ්‍රී ලනිපය ඔබලා එකතු වෙලා අවසන් කරන්න යනවා කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා?
ඒක වෙන්න අපි කවදාවත් ඉඩ දෙන්නෙ නෑ. අපිට අවශ්‍යයි නියම භූමිකාවේ රඟපාන්න.

• පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත්, ඔබ පක්ෂයට එල්ල වන චෝදනාත් එක්ක දැන් ශ්‍රී ලනිප නාමය බෝඩ් එකකට පමණක් සීමා වෙලා කියන චෝදනාවත් ඔබලා ඉදිරියේ පවතිනවා?
නෑ... බෝඩ් එක කියන එක වැරැදියි. ශ්‍රී ලනිපයත් ලක්ෂ 15කට වැඩිය ඡන්ද ප්‍රමාණයක් අරගෙන තියෙනවා.

• ඒ ප්‍රමාණය අද වෙද්දි 13%ට බැහැලා නේද?
කවුද කියන්නෙ? කවුරුත් තව ඡන්දෙකට ගියෙ නෑනේ. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ කණ්ඩායමත් අරන් තියෙන්නේ 44%යි. 50%ක ලක්ෂණවලට තව කවුරුත් ආවේ නෑ. මේ ප්‍රතිශතයේදී අපි සියලු දෙනා එක කඳවුරකට ආවොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්.

• ඒකාබද්ධ විපක්ෂය ලද ප්‍රතිශතය සමඟ ඔබලා පක්ෂය තවදුරටත් අතේ තබාගෙන සිටීම සදාචාර සම්පන්නද?
ඒ ගොල්ලන්ට ප්‍රතිශතය වශයෙන් බහුතරය ලැබුණ එක ඇත්ත. අපිටත් යම් ප්‍රමාණයක් ලැබුණු එක ඇත්ත. අපි පසුබෑමක් තියෙන එකත් ඇත්ත. ඒ පසුබෑම ජයග්‍රහණය කරගන්න නම් අපි වෙනස් විය යුතුයි. ඒක තමයි අපේ තර්කය.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon