කොහාත් නෑ අවුරුදුත් නෑ ගල්ගෙයක දිවි ගෙවන සාධරණයක් නොවුණු දරු පවුලක්

  👤  3593 readers have read this article !
By mawbima 2018-04-15

මෙරට විසූ ආදි මානවයන් ගල් ලෙන්වල ජීවත් වූයේ මීට ශත වර්ෂ ගණනාවකට පෙරය. බළන්ගොඩ මානවයෝද ගල් ලෙන් ආශ්‍රිතව ජීවත් වූහ. අදටත් ඔවුන් ජීවත් වූ බවට සැලකෙන ගල් ලෙන් ගණනාවක් බළන්ගොඩ ප්‍රදේශයේ දැකිය හැකිය.

ඔවුන් විසූ බවට සැලකෙන ගල් ලෙන් අතර බළන්ගොඩ කල්තොට කූරගල, පනාන අළුගල් ලෙන, ලුණුගල් ලෙන, පරගහමඩිත්ත ගල් ලෙන, දියවින්නේ උඩුපියන් ගල් ලෙන, කිරි මකුළු ගොල්ලේ යකුන්ගේ විමන ආදිය සඳහන් කළ හැකිය. එකල බළන්ගොඩ මානවයෝ ගල් ලෙන්වල වාසය කරමින් දඩයම හා ගොවිතැන් කටයුතු සිදු කරමින් තම ජීවිතය ගොඩනඟා ගත්හ.

මෙලෙස බළන්ගොඩ මානවයන්ගෙන් පැවැත එන පිරිසක් තවමත් ගල් ලෙන්වල ජීවත් වෙනවා කිවහොත් ඔබ පුදුම වෙනවා ඇත. මේ පිරිස ජීවත් වන්නේ බළන්ගොඩ එගොඩ වලේබොඩ ප්‍රදේශයේය. ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට අප පසුගිය දිනක එම ගල් ලෙන පිහිටා ඇති ප්‍රදේශයට ගියෙමු.

එම ගල් ලෙන්වල වාසය කරන පී.කේ. විජිත නන්දසිරි (පියා) මෙසේ කීය.

2015 වසරේ මාගේ නිවෙසට ගසක් කඩාවැටුණා. ඒ නිවෙස කටුමැටි එකක්. ඊට පස්සේ මට යන්න එන්න තැනක් නැති වුණා. මේ පිළිබඳව බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ටත් දැනුම් දුන්නා. ඊට අමතරව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාටත් දැනුම් දුන්නා. මට ඉන්න තැනක් නැති නිසා අපිට අයිති හවුල් කුඹුරක ගල් ලෙනක් තිබෙනවා. එදා සිට දරුවො දෙන්නයි බිරියයි මමයි ජීවත් වෙන්නේ එම ගල් ලෙනේ හදාගත් තාවකාලික මඩුවකයි.

කොහොම වුණත් අපි කලින් පදිංචි වෙලා හිටිය ඉඩම නාය යෑමට ඉඩ ඇති බවට හඳුනාගෙන අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. අපට යන්න වෙන තැනක් නැහැ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මට වෙන තැනකින් ඉඩම් කොටසක් ලබා දෙන්න කියලා. දරුවන් දෙදෙනාම පාසල් යනවා. ඔවුන් මැද්දේකන්ද පාසලට යන්නේ. දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ. වැස්ස වෙලාවට තෙමෙනවා. මම කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ඊට අමතරව තේ අක්කර කාලක් පමණ තියෙනවා. ඒකෙ ආදායම මදි දරුවෝ දෙන්නාගේ අධ්‍යාපන කටයුතු කරන්න.

අනතුරුව අදහස් දැක්වූ ගල් ලෙනේ ජීවත් වන (මව) පුෂ්පා දමයන්ති මහත්මිය මෙසේ කීවාය.

අපි මේ ගල් ලේනේ ජීවත් වුණාට ඉන්නෙ හරිම පරිස්සමින්. හිටපු ගමන් සත්තු සර්පයෝ එනවා. බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සොයා බලා අපට ඉඩම් කොටසක් ලබාදී නිවෙසක් හදන්න උදවු කරන්න කියලා. දරුවෝ දෙදෙනාත් ඉගෙනගන්න බොහොම ආසයි.

අප මේ පිළිබඳ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි උපුල් ශාන්ත අනුරසිරි මහතාගෙන් විමසීමක් කළෙමු.

මේ අය පදිංචි වෙලා සිටි නිවෙසට 2015 වසරේ ගසක් කඩා වැටී හානි සිදු වෙලා තිබුණා. ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත් වී නිවෙස තනා ගැනීමට රුපියල් පනස් දහසක (50,000) පමණ මුදලක් ලබා දුන්නා. අප විසින් රුපියල් අසූ පන්දහස් පනහක මුදලක් (85,050) ඇස්තමේන්තු කළද ජාතික රක්ෂණ භාර අරමුදලින් ලැබුණේ රුපියල් පනස් දහසක් (50,000) පමණයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළේය.

මේ පිරිස ජීවත් වන ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් කලින් ජීවත් වූ නිවෙසට ඉහළින් විශාල ගලක් ඇති අතර එය පෙරැළී යම් අනතුරක් සිදු වීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ ප්‍රදේශය ස්ථීර ලෙසම නාය යන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට තම කාර්යාලය මඟින් ලිඛිතව දන්වා ඇති බවයි. තවමත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් මේ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව වාර්තාව තම කාර්යාලයට ලැබී නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මධ්‍ය අවදානම් ලෙස හඳුනාගෙන ඇති අයට ඉඩම් හෝ නිවාස ලබාදීමට හැකියාවක් නොමැති අතර අධික වර්ෂා පවතින අවස්ථාවල නිවෙස්වලින් ඉවත් වී වෙනත් තැන්වල පදිංචි වන ලෙසට උපදෙස් ලබා දීමට තම කාර්යාලය කටයුතු කරන බවයි. අවදානමට ලක්වී ඇති පවුල සඳහා තාවකාලිකව කූඩාරමක් ලබාදීමට කටයුතු කළද එය ලබා ගැනීමට ඔහු කාර්යාලයට පැමිණ නැහැ. නිතර අපේ නිලධාරීන් එම ප්‍රදේශය පිළිබඳව සෝදිසියෙන් ඉන්නේ.

කල්තොට - එස්. වීරවංශ
බළන්ගොඩ - නලින්ද වලේබොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon