ශ්‍රී ලාංකේය දේශපාලනයේ මහත්මා සලකුණ ඩඩ්ලි

  👤  3582 readers have read this article !
By mawbima 2018-04-15

ශ්‍රී ලංකාවේ දේශපාලනය සුවඳවත් කළ 'සඳුන් රුක' ලෙස මම ඩඩ්ලි සේනානායකයන් දකින්නෙමි. මෙරට දේශපාලනයේ 'මහත්මා සලකුණ' ලෙසද මම ඔහු දකින්නෙමි. මානව දයාව පිරි ඩඩ්ලි සේනානායකයන් දේශපාලනය අලංකාර කළ මනුෂ්‍ය රත්නයකි. දේශපාලන බලය සහ මුදල් ඉදිරියේ මිනිස් ජීවිත දෙවැනි කොට සලකන යුගයක, ඩඩ්ලි සේනානායකයන්ගේ චරිතය තුළින් උගත හැකි පාඩම් බොහෝය.

ඩඩ්ලි සේනානායක මැතිතුමන් රැස්වීම්වල කතා කරනු මා දැක තිබුණත් මුහුණට මුහුණ එතුමන් පෞද්ගලිකව හමුවීමක් සිදුවූයේ 1970 වර්ෂයේදීය. හැත්තෑවේ මැතිවරණ පරාජයේ උණුසුම පහව ගොස් නොතිබුණු මේ සමයේ පක්‍ෂයේ පරාජය සම්බන්ධව එතුමන් සිටියේ කැලඹිලිකාරී පසුබිමකය.

මගේ පියතුමන්ගේ ලිපියක් සමඟ කොළඹ ආනන්දයේ ශිෂ්‍ය නියෝජිත පිරිසක් ලෙස අපි එතුමන් හමුවුණෙමු. මෙම හමුවීම සඳහා අපට අවස්ථාව සලසා දුන්නේ එවකට එජාපයේ තරුණ පෙරමුණේ ලේකම් ජිනදාස නියතපාල මහතාය. අපට එතුමන් දැක්වූ ප්‍රතිචාරය මට මේ මොහොතේ සිහියට නැඟේ.

'පුතාලා දැන් හොඳට ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න වයස. විශ්වවිද්‍යාලයට ගිහින් ආවට පස්සේ දේශපාලනය කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඕගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්නම්'

තම දේශපාලන අරමුණු සඳහා ශිෂ්‍යයන් ඉත්තන් කරගන්නට සූදානම් නොවූ අවංක නායකයකුගේ ප්‍රතිරූපය අපි දුටුවෙමු. යොවුන් වියේ පසුවූ අපගේ දේශපාලන පිපාසය නිවාලන්නට එම පිළිතුර සමත් වූයේ නැත. 'එජාපය මේ ස්ථාවරයේ සිටියොත් අනාගත පරපුර අන්තවාදී මාවතකට නැඹුරුවීම වළක්වන්න බැරි වේවි.'

අපගේ අදහස ඉතා ප්‍රබල ලෙසින් අපි එතුමන්ට පැහැදිලි කළෙමු. ශිෂ්‍ය නියෝජිතයන්ගේ දීර්ඝ සහ බලවත් කරුණු ඉදිරිපත් කිරීම්වලින් පසුව පවතින සැබෑ තත්ත්වයේ බැරෑරුම් බව එතුමාට ඒත්තු ගිය බව වැටහිණි.

'එහෙනම් අපි කල්පනා කරලා තීන්දුවක් ගමු. මට සතියක් කල් දෙන්න.'

අවසානයේ ඩඩ්ලි සේනානායක මහතා අපට පවසා සිටියේය. ආනන්දයේ ශිෂ්‍ය පිරිසට සතියකින් කැඳවීමක් ලැබිණි. ඒ වුඩ්ලන්ඩ් මන්දිරයෙනි. අපි එහි ගියේ බොහොම සතුටිනි. ජිනදාස නියතපාල, මහාචාර්ය තිලක් රත්නකාර, ජේ.ආර්.පී.සූරියප්පෙරුම, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු එහි සිටියහ.

'පක්‍ෂයේ ශිෂ්‍ය සංවිධානය ආරම්භ කරන්න අපේ අදහසක් නෑ. ඔයාලා ආරම්භ කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය ඔහොම කරගෙන යන්න.

පක්‍ෂයක් වශයෙන් ඕගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය ගැන ශිෂ්‍යයන් දැනුවත් කිරීම සඳහා මේ උදවිය අවශ්‍ය සහාය හා මඟපෙන්වීම ලබා දේවි.'

පැමිණ සිටි හතර දෙනා අපට හඳුන්වා දෙනු ලැබිණි. පසු අවධියේ සමවාදී ශිෂ්‍ය පෙරමුණ බවට පත්වූ එ.ජා.ප.යේ ශිෂ්‍ය අංශයේ උපතට මුල පිරුණේ ඒ අයුරිනි. මෙරට දේශපාලනයේ 'මහත්මා සලකුණ' ලෙස හැඳින්විය හැකි ඩඩ්ලි සේනානායකයන් සමඟ සම්බන්ධවීමට මට අවකාශ සැලසුණේ මෙලෙසිනි. පොදුජන ජීවිතය තුළ ඔහුගේ හැසිරීම, ශ්‍රී ලංකා දේශපාලනයේ 'ප්‍රජාතන්ත්‍රවාදියකුගේ පරමාදර්ශය' ලෙස හැඳින්වීමට තරම් සුදුසු වන්නේ යැයි මම විශ්වාස කරන්නෙමි.

60 දශකයේ හර්තාලයේදී සිදුවූ එක් ජීවිත හානියක් හේතුවෙන් කම්පාවටත් වේදනාවටත් පත්වූ ඩඩ්ලි අග්‍රාමාත්‍ය ධුරයට 'ආයුබෝවන්' කියමින් වුඩ්ලන්ඩ් මන්දිරයට (තම පෞද්ගලික නිවෙසට) පා නැඟුවේ, බලයේ එල්ලී සිටීමට තරම් තණ්හාවක් තමන්ට නොමැති බව රටට හෙළි කරමිනි. රාජ්‍ය නායකයා ලෙස තම රට වැසියන්ගේ ජීවිතවලට උත්තර බැඳීමට තමන්ට ඇති වගකීම මේ තුළින් ඔහු පෙන්නුම් කර සිටියේය.

කතාවට වඩා හැසිරීම තුළ ඔහුගේ බෞද්ධකම දැකිය හැකි විය. දේශපාලන වාසි ප්‍රයෝජන සඳහා ආගම, ජාතිය, කුලය හෝ පන්තිය වෙළෙඳ භාණ්ඩයක් කර ගනිමින් වෛයරය වැපිරීමේ හැසිරීමක ඔහු කිසිවිටෙකත් නියැළුණේ නැත. විවිධ ජන කොටස් වාසය කරන සමාජයක, ඒ සියලු ජන කොටස්වල ආදරය සහ විශ්වාසය හෘදයාංගමව දිනාගත් නායකයන් දැක ගැනීම දුර්ලභය. ඩඩ්ලි සේනානායකයන් සැබැවින්ම එවන් දුර්ලභ නායකයෙකි. අපේ ජීවිත කාලය තුළ දුටු ඇමෙරිකාවේ ජෝන් කෙනඩි, කැනඩාවේ පියරේ ටෘඩෝ, ශ්‍රී ලංකාවේ ඩඩ්ලි සේනානායක ඒ ගණයට වැටෙන්නන් බව මගේ විශ්වාසයයි.

1956 මැතිවරණය ආසන්නව තිබියදී ජෝන් කොතලාවල මහතාගේ නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්‍ෂය එදා රැල්ලට අනුගත වෙමින් 'සිංහල පමණක්' ප්‍රතිපත්තිය වැලඳ ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂයේ ජන පදනම උතුරේ නාය යෑම ආරම්භ විය. පෙඩරල් පක්‍ෂ නායක චෙල්වනායගම් මහතා පරදවා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරයකු ලෙස උතුරේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි

නඩේෂන් මහතා ඇතුළු

ජේ‍යෂ්ඨ ද්‍රවිඩ නායකයන් එක්සත් ජාතික පක්‍ෂය 'සිංහල පමණක්' ප්‍රතිපත්තිය වැලඳ ගැනීමෙන් අනතුරුව, තමන්ට තවදුරටත් පක්‍ෂය තුළ සිටීම අපහසු බව කඳුළු පිරි දෙනෙතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්‍ෂය හැරගියේ සිතකින් නොවන බව නඩේෂන් මහතා කළ ප්‍රකාශය කියවන විට පැහැදිලි වෙයි. ප්‍රතිපත්තිමය ස්ථාවරයේ සිදුවූ මේ වෙනස හේතුවෙන් උතුරේ ජනතාව අතර සියලු ජන කොටස්වලට පොදු වූ 'ජාතික පක්‍ෂයක්' ලෙස මෙතෙක් එක්සත් ජාතික පක්‍ෂයට තිබූ ප්‍රතිරූපය බිඳ වැටෙන්නට පටන් ගැනිණ.

පසු අවධියේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය යළි භාරගත් ඩඩ්ලි සේනානායකයන් ඉතිහාසයේ වැරැදි නිවැරැදි කරමින් චෙල්වනායගම් සහ තිරුචෙල්වම් වැනි නායකයන් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය සලසන අණපනත් ගෙන ඒමට කටයුතු කළ නමුදු, අන්තවාදී බලවේගයන්හි ක්‍රියාකාරීත්වය ඉදිරියේ ඒවා සම්මත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ජාතික එකමුතුව සඳහා ලද ඓතිහාසික අවස්ථාව මඟ හැරුණි.

1966දී ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය සලසනු වස් සකස් කළ දිස්ත්‍රික් සභා සහ ද්‍රවිඩ බසින් එම ප්‍රදේශවලදී රජය හා ගනුදෙනු කිරීමට අවකාශ සලසන විධිවිධාන පිළිබඳ පනත සම්මත කර ගැනීමට ඩඩ්ලි සේනානායක රජය අපොහොසත් වීම හේතුවෙන් ද්‍රවිඩ නායකයෝ රජයෙන් ඉවත් වූහ.

මේ වකවානුවේ පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදුණු ඉංගී්‍රසි පුවත්පතක මාධ්‍යවේදියකු මා සමඟ කී කාරණයක් මට සිහිපත් වෙයි. රජයෙන් ඉවත් වූ ද්‍රවිඩ නායකයන්ගෙන් කෙනකු වූ අමිර්තලිංගම් මහතා හමුවූ මේ මාධ්‍යවේදියා, ද්‍රවිඩ නායකයන් රජයෙන් ඉවත්වීම නිසා රජය බිඳ වැටීමට ඇති ඉඩකඩ ගැන ඔහුගෙන් විමසා ඇත.
'ඩඩ්ලි සිංහල දේශපාලනඥයන් අතර සිටින දුර්ලභ ගණයේ නායකයෙක්. අන්තවාදී බලවේගයන්හි ක්‍රියාකාරීත්වය හමුවේ ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය ඉටුකර දෙන්නට ඔහුට නොහැකි වුවද, ඔහු වැනි පළල් මනසක් ඇති සිංහල දේශපාලනඥයන් රැක ගැනීම මේ රටේ අනාගතය වෙනුවෙන් අප කළ යුත්තක්. එම නිසා අප රජයෙන් ඉවත් වුවද ඩඩ්ලිගේ රජය බිඳ දැමීමකට අප දායක වන්නේ නැහැ.'

එදා 'ඩඩ්ලිගේ බඩේ - මසල වඩේ' 'තලතෙල් ගඳයි - ඉන්නට බැහැ' වැනි සටන් පාඨ කියමින්, අන්තවාදීන් ප්‍රකෝප කිරීම තුළින් දිස්ත්‍රික් සංවර්ධන සභා පනත පරාජයට පත් කරන්නට නායකත්වය දුන් බලවේග, අද මේ ප්‍රශ්නයට විසඳුම දිස්ත්‍රික් ඒකක ඇති කිරීම බව කියමින් එදා ඩඩ්ලි සිටි ස්ථාවරයට අද පැමිණ සිටීම දෛවයේ සරදමක් ලෙස හැඳින්විය හැකිය.

කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික සැම ඔහුට ආදරය කළේ ඩඩ්ලි තමන්ගේම කෙනකු බව විශ්වාස කරමිනි. එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනරංජන නායකයෙක් විය. අවංක නායකයෙක් විය. ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් වීමට තවතවත් ඩඩ්ලි සේනානායකවරුන් මේ බිමේ පහළ වේවා!

ඉම්තියාස් බාකීර් මාකාර්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon