පරිසරයට ආදරය කරන අපේ හිත් රිදුනා මාධ්‍ය ජාලාවල අපි ගැන ගියේ අමූලික බොරු!

  👤  3419 readers have read this article !
By mawbima 2018-04-15

නකල්ස් තරණය කිරීමට ගොස් තරුණයන් 07 දෙනකු අතුරුදන් වී ඇති පුවත මාධ්‍යට වාර්තා වුණේ පසුගිය 08දාය. මේ වාර්තාවලින් වැඩිදුරටත් කියැවුණේ අතුරුදන් වූ මේ තරුණයන් සොයා ගැනීමට පොලිසියත්, හමුදාවත් එක්වී මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

කෙසේ හෝ ඉන් දිනකට පසුව මේ තරුණයන් නිරුපද්‍රිතව යළි පැමිණ සිටින බව වාර්තා විය.

"මේ වාර්තාවලින් අපට ලොකු අසාධාරණයක් වුණා. ඒ අසත්‍ය දේවල් ප්‍රචාරය වී තිබුණ නිසා..." මෙසේ කීවේ මව්බිම සමඟ එකතු වූ නිපුන බස්නායකය.

නිපුන මේ අතුරුදන් වූවා යැයි කියූ තරුණයන් 07 දෙනාගෙන් කෙනෙකි. හෝමාගම හබරකඩ පදිංචි නිපුන තවදුරටත් ඒ සිදුවීම හා ඊට අදාළ වැරදි මාධ්‍ය වාර්තා ගැන කතා කළේ මෙලෙසිනි.

"අපි ඉඩ ලැබුණු හැම වෙලාවකම මේ වගේ සංචාර සංවිධානය කරනවා. හිතවත් යාළුවෝ කීප දෙනෙක් තමයි මේ සඳහා සහභාගි වෙන්නේ."

"ඒ අනුව 07 වැනිදා සවස කොළඹින් අපි පිටත් වුණා. ඒ 8 වැනිදා උදේ නකල්ස් තරණය කරන්න හිතාගෙන."

නිපුන ඇතුළු කණ්ඩායම කඳු තරණය සඳහා තෝරා ගත් හිමිදිරිය ඉතා ප්‍රසන්න උදෑසනක් විය. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ කෙසේ හෝ දහවල් වන විට නකල්ස් කඳු මුදුනට පිවිසීමය. ඔවුන් ඒ බලාපොරොත්තුව ඇතිව ගමන් කළේ කිසිදු චකිතයකින් තොරවය.

"අපි මීට පෙරත් මෙවැනි කඳු තරණය කර තිබෙනවා. ඒක අපේ විනෝදාංශය වගේම මිහිරියාව. ඒ සුන්දරත්වය මොනම විදියකින්වත් අපට ලැබෙන්නේ නැහැ."
"කොහොම හරි පන්විල, බඹරැල්ල ප්‍රදේශයෙන් අපේ ගමන පටන්ගෙන අපි ඉදිරියට ඇදුනත් මඟදී අපේ ගමන්මඟ වැරදී ගියා. ඇත්තටම එයින් කියැවෙන්නේ අපි අතරමං වුණා කියන එක නෙවෙයි. කන්ද මුදුනට ඉක්මනින් ගමන් කරන්න පුළුවන් මඟ වෙනුවට වෙනත් මඟකට අපි අවතීර්ණ වී තිබුණා."

නකල්ස් කඳු මුදුනට පාගමනින් යන මේ තරුණයන්ගේ අභියෝගය කිලෝමීටර් 24-30 පමණ ප්‍රමාණ ගමනාන්තයක් කරා යෑමය. එහෙත් නිසි මඟ තෝරා ගැනීමට අපහසු වූ නිසා ඔවුන්ගේ ගමන නිම කිරීමේ කාලය වැඩිවිය.

"ඔය වෙලාවේ අපි තීරණය කළා මඟ නැවතිලා රෑ ගත කරමු කියලා. ඒ අනුව අපි එහි සුදුසු ස්ථානයක නවාතැන් ගත්තා. එහෙමත් නැත්නම් කෑම්ප් කරන්න හිතුවා."
නිපුනගේ කණ්ඩායමේ සිටි සාමජිකයකු තම නිවෙසට දුරකතන ඇමතුමක් ලබාගත්තේ මේ අවස්ථාවේදීය. ඒ තමන්ගේ අත්දැකීම ගෙදරට දනුම් දෙන්නටය.
"අපිට පාර වැරදුණා...."
මහා ගිනි විජ්ජුම්බරයක් තරමට හැරැණේ මේ දැනුම්දීම හා ඉන්පසුව සිදුවූ කාලගුණික විපර්යාසයය.

මහ කැලයේ රාත්‍රිය ගත කළ නිපුන ඇතුළු පිරිස පසුදා එළිවෙන්නට ලක ලෑස්ති වී කඳු මුදුන තරණය කිරීමට පටන් ගත්තේ ඉක්මනින්ම ආපසු පැමිණීමේ අරමුණින් යුතුවය. ඔවුන් සැහැල්ලුවෙන් පරිසර වින්දය ලබමින් කඳු මුදුනට පිවිසිණි.

"මේ වෙලාවේ අපි හැමෝම අපේ දුරකතන පරීක්ෂා කර බැලුවා. ඒත් කිසිම කෙනකුගේ දුරකතනවල සිග්නල් තිබුණේ නැහැ. ඒ නිසාම අපේ ගෙවල්වලට පණිවුඩයක් දෙන්න තරම්වත් විධියක් අපට තිබුණේ නැහැ."

නිපුනලා නොසිතූ මෙහෙයුමක් හා කලබලයක් සිදු වී තිබුණේ මේ කාලය තුළදීය.

"අපට පාර වැරදුණා." යන අවසන් දුරකතනය ඇමතුමෙන් පසු නිපුනලාගේ දුරකතන අක්‍රිය වී තිබුණු බව අපි ඔබට මුලදී පැවසුවෙමු. මේ අවසන් ඇමතුමට පසු සිදු වූයේ වෙනස්ම ක්‍රියාන්විතයකි.

"අපිව සම්බන්ධ කරගන්න බැරි වුණාට අපේ ගෙවල්වල අය හිතුවේ අපි අතරමං වෙලා කියලා. ඔය කාලෙම කොළඹ ඇඟලුම් කර්මාන්ත ශාලාවක කට්ටියක් හුළු ගඟේ වතුර පාරට අහුවෙලා 05 දෙනෙක් මිය ගිහින් තිබුණා."

"හුළු ගඟ තිබෙන්නේ ඒ ළඟමයි. ඉතිං ඒ මාධ්‍ය වාර්වලට අනුව අපේ වැඩිහිටියන් හිතුවා අපිට කරදරයක් වෙලා කියලා. විශේෂයෙන්ම අර දුරකතන ඇමතුම දුන්න අපේ යාළුවගේ ගෙදර අය. එයාගේ තාත්තා 119ට කතා කරලා අපේ අතරමංවීම කියලා තිබුණේ ඒ නිසාමයි."

පොලිසිය මේ ආරංචියත් සමඟ තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට පන්විල පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ යුද හමුදා කණ්ඩායම් දෙකක සහයෝගය ලබා ගත්තේ ඒ අනුවය. මාධ්‍ය ආයතනවලට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඒ සඳහා යොමු වූයේ ඉන්පසුවය.

"ඒ අනුව පොලිසියත්, හමුදාවල අයත් ගම්මුන්ගේ සහයෝගය අරන් අපිව සොයන්න කන්ද මුදුනට යන ගමන ආරම්භ කර තිබුණේ ඒ අනුවයි."

"හැබැයි මේ හැමෝම අපිව සොයන්න ගිහින් තිබුණේ අපි නකල්ස් තරණය කරන්න පටන් ගත්ත පැත්තෙන් නෙවෙයි. අනෙක් පැත්තෙන්. ඒ නිසා අපි පහළට එනතුරු ඔවුන්ව අපට මුණගැහුණේ නැහැ."

නිපුන ඇතුළු පිරිස දැඩි පරිසර හිතකාමීන්ය. ඔවුන් මේ ගමන් බිමන් යන්නේ ඇල්පෙනිත්තක තරම්වත් පරිසරයට හානි නොකරන ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමිනි.
"අපි කැලේට අරන් යන කොළකෑල්ල පවා ආපසු අරන් එනවා. ඒ තරමටම අපි පරිසරයට ආදරෙයි."

අනෙක මේ ගමන්වලදී කිසිම ආකාරයේ සැර බීම ජාති අපි අරන් යන්නේ නැහැ. බොන්නේ නැහැ. සැතපුම් ගණන් කඳු නැඟලා බොන්න යන්නේ මොකටද? එහෙම නම් ඔය ළඟ තැනකට යනවනේ.

අපි විතරක් නෙවෙයි, මේ විදියට කඳු තරණය කරන හැම කෙනෙක්ම එහෙමයි. ඒ අය සොබා සෞන්දර්ය විඳින්න කැමැති අය. ඉතින් අපි සම්බන්ධව පසුගිය දවස්වල වාර්තා වූ සියලු දේවල්වලින් වුණේ පරිසරයට ආදරය කරන අපේ හිත් රිදුණු එක විතරයි.

මෙහිදී නිපුනලාට සිදුවූ අත්වැරැද්ද පිළිබඳවද ඔහු කතා කරන්නේ අවංක සිතිනි.

"අපිට පාර වැරදිලා අපි අවසානයේ ගිහින් තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල අවරයක් නැතිව ඇතුළු වෙන්න බැරි ඉසව්වකට... ඒක අපි කළේ නොදැනුවත්ව... හැබැයි අපිට තිබුණා යන්න කලින් මේ සම්බන්ධව දැනුවත් වෙන්න. ඒක අපේ වැරැද්දක්. ඉදිරියේදී මේ විදියට ගමන් යන හැමෝම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි."
"දෙවැන්න අපි අපේ ගෙවල් එක්ක හරි විධියට සබඳතා ගොඩනඟා නොගත්ත එක. මේවා තමයි මේ සේරටම හේතු වුණේ. කොහොම හරි මේ අඩුපාඩු නිසා ගෙවල්වල අම්මලා තාත්තලා වගේම පොලිසියට, වගේම හමුදාවේ මහත්තුරුන්ටත් වැඩ වැඩි වුණා. ඒක ගැන ඇත්තටම කනගාටුයි. ඒ වගේම ඒ හැමෝටම ස්තුතියි. පන්විල පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පාලිත සෙනෙවිරත්න මහත්තයා අපිට දැක්වූ සහයෝගයට ඇත්තටම ස්තුතියි."

"අපි කැලේ වැඩිපුර රාත්‍රියක් ගත කළා. සතා සිවුපාවන් හිටියත් ඒ අයගෙන් අපිට කරදරයක් වුණේ නැහැ. අපිට කරදර වුණේ කූඩැල්ලන්ගෙන් විතරයි. අන්ධකාරය තුළ අපි තැති ගත්තේ නැහැ. කැලේට කරදර කරන්නේ නැති විනාශයට දායක නොවන අපිට සැහැල්ලුවෙන් නිදාගන්න ලැබුණා."

"අනෙක අපි එක්ක හිටපු යහළුවන්ගෙන් දෙදෙනෙක් 09 වැනිදා හිමිදිරියේම අපිට කලින් පල්ලම් බැහැල ආවා. ඒ වැදගත් වැඩකට ඉක්මනින් යන්න ඕන නිසා. ඔවුන් අපිට කලින් පැමිණි ප්‍රවෘත්තියක් විකෘති වී තිබුණා. දෙන්නෙක් අතුරුදන් වෙලා කිව්වා. ඒ අය වෙනත් පාරකින් ඇවිත් කිව්වා. ඔය වගේ බොරු දේවල් හුඟක් මාධ්‍ය තුළ කියැවුණා."
නිපුන සමඟ කළ කතාබහ අවසන් කළ අපි ඊළඟට හැරුණේ මේ ගමනට එකතු වූ රවිඳුගේ පියා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි අනුර බමුණුආරච්චි වෙතය. ඔහු මෙසේ කීවේය.

"අපි වැඩිහිටියන් හැටියට දරුවන්ගේ අතුරුදන්වීම් ගැන සැලකිලිමත් වෙනවා. ඒ අපේ හැටි. ඒ වගේම පිරිසක් හුළු ඟඟේ ගහගෙන ගිහින් කියලා දැනගත්තම අපි තවත් කලබල වුණා. ඒ දුරකතනවලින් ප්‍රතිචාර නැති නිසා."

කොහොම හරි අපේ දැනුම් දීම අනුව 119 හදිසි ඇමතුම් අංශය වගේම පොලිසිය හා හමුදවත් ඊට සක්‍රියව දායක වුණා. ඉතින් අවසානයේදී දරුවෝ අපිට හමුවුණා. මේවා මුකුත් නොකර ඉඳලා මොනවා හරි විපැත්තියක් වෙලා තිබුණ නම් අවසානයේදී අපි හැමෝටම නරක නාමය එනවා නේද. ඉතිං එවැනි පරිසරයක් තුළ අපි හැමෝම අපේ යුතුකම් කළා.

"දරුවන්ගෙන් අපි ඉල්ලන්නේ මේ වගේ ගමන් ගියාට කමක් නැහැ. නිවෙසේ අය එක්ක මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යා යුතුයි කියලයි."

සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායා - තිළිණ ප්‍රනාන්දු, ඉවෝන් හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon