මහ පොළොව සැරසුව රණවිරු පුතුන්හට යුතුකම් ඉටු කරන්නට ජීවිතයෙන් කැපවුණු මාතාවක්

  👤  3619 readers have read this article !
By mawbima 2018-04-15

උදේ දහයහමාර වනවිටත් ඉර මුදුන් වූවා සේය. නිරුවත් අහසින් කඩා හැලෙන ගිනියම සියොලඟම දවාලන්නේය. රූරා වැටෙන දහදිය අත් ලේන්සුවෙන් පිස දමමින් ඒ අම්මා රාගම රණවිරු සෙවණ පිහිටි කුඩා කඳුගැටය නඟිමින් සිටියාය. අවුල් වී ගිය සුදුපැහැති හිසකෙස් කෙසඟ අතින් පිරිමදිමින් කන්ද නැඟ පැමිණ ඇය රණවිරු සෙවණ ගේට්ටුව අසල සිට ගත්තාය.

යුද්ධය හමාරය. හමාර කළ යුද්ධය පහසුවෙන් අමතක කළ හැකිය. යුද්ධයේ අමතක කළ යුතු ම්ලේච්ඡත්වයක් තිබිණි. අමතක කළ යුතු ම්ලේච්ඡත්වය උත්කර්ෂයට නන්වමින් කෙරෙන නිහීන දේශපාලනය සමාජයට සමාජයේ යුතුකම් අමතක කරන තරමට මජර වී ඇතැයි සිතුවෙමි. එහෙත් මිනිසුන් එපමණම මුග්ධ නැති වග දැනෙන විට උපදින්්නේ තෘප්තියකි. රටේ යුද්ධය වෙනුවෙන් ජීවිතය කැප කළ පිරිස වාසනාවන්තයැයි හිතන්නට පොලඹවන තරුණ පිරිසක් තවමත් හිත්වලින් නොමැරී මැරෙමින් ජීවත්වන රාගම රණවිරු සෙවණෙහි ප්‍රවේශ ගේට්ටුව අබියස මවුවරුන්ට එරෙන කිරි සුව¼ද විඳිමින් හිඳිමි. ගේට්ටුව අසලට පැමිණි අම්මා සිය දෑසින් රූරා වැටෙන කඳුළු අත්ලේන්සුවෙන් පිස දැමුවාය.

මොහොතක් ඒ දෙස බලාගෙන සිටියෙමි.

"අම්මගෙ කවුරු හරි මෙහෙ ඉන්නව ද?". දෙකොපුල් මතින් රූරා වැටෙන ඇගේ කඳුළු දකිමින් විමසමි.

ඇය මා දෙස බලන්නේ මවිතයෙනි. "මේ දරුවො මගේ දරුවො වගේ..."

"අම්මාගෙ ගෙවල් කොහෙද?".

"බදුල්ලෙ."

" බදුල්ලෙ... කොහොමද ආවෙ."

"බදුල්ලෙන් රෑ කෝච්චියෙ ඇවිත් රාගමින් බැස්සා පුතේ..."

"අම්මා රණවිරු සෙවණෙ කට්ටිය බලන්නද ආවෙ..."

" බලලා යන්නම නෙවෙයි. මේ දරුවන්ට කෑම වේලක් දෙන්නෙ කොහොමද කියලා දැනගන්න." බදුල්ලේ සිට රෑ කෝච්චියේ නැඟී මේ අම්මා තනියම රාගම රණවිරු සෙවණට ඇවිත් තිබෙන්නේ මේ ආබාධිත රණවිරු පිරිසට ආහාර වේලක් ලබා දෙන්නටය.

ඇය ගේට්ටුව වෙත යනු පෙනේ. එතැන ඉන්නා සෙබළුන් සමඟ කෙරෙන සංවාදයකින් අනතුරව අම්මාව කාර්යාලය වෙත කැඳවාගෙන යයි. තරමක් වෙලා ගතවේ. ඇය එන්නේ අප්‍රමාණ ප්‍රීතියෙනි.

"මට ගේට්ටුවෙන් කිව්වා එහෙම කෑම දෙන්න බෑ. ඒකට වත්තලින් අවසර ගන්න ඕන කියලා. මං වත්තල කොහෙද කියලවත් දන්නෙ නෑ පුතේ. මං කිව්වා මම බදුල්ලෙ ඉඳන් ආවෙ. මේ ගැන කතා කරගන්න ලොකු මහත්තයකුට මාව යොමු කරන්න කියලා. ඒ මහත්තයා මට කිව්වා කරන්න ඕන විදිහ. මං දිනයක් වෙන් කරගත්තා පුතේ. දැන් යනවා කේටරින් එකට සල්ලි බඳින්න." ඇය කියන්නේ ප්‍රදේශයේ සුපිරි කේටරින් සේවයක නමකි. පෙනෙන හැටියට ඒ කෑම වේල වෙනුවෙන් දරන්නට වෙන පිරිවැය හිතනවාට වඩා වැඩිය. අම්මාගේ මුහුණේ ඇත්තේ ඕනෑම මිලක් දරාගෙන ඉටුකළ යුතු යුතුකමක් ඉටු කිරීමේ සතුටය.

ඒ අම්මා සමඟ සංවාදයට සිත පොලඹවයි. ඇය නමින් අශෝකා ප්‍රනාන්දුය. පදිංචිය බදුල්ල ගඟබඩ පාරේය. රජයේ ලිපිකාර සේවයේ සිට මීට හය වසරකට පෙර විශ්‍රාම ගත් ඇය පුරා තිස් වසරක රාජ්‍ය සේවයේ විශ්‍රාම පාරිතෝෂිකයට ලබා දෙන මිල ගණනය කළ නොහැකි බව පමණක් හැඟෙන්නේය.

"දරුවො දෙන්නා හොඳට ඉගෙන ගත්තා පුතේ. ඒ අය දැන් සමාජයෙ වැදගත් තැන්වල ඉන්නවා. මට ඕන මගෙන් වෙන්න තියන දේ මිනිස්සුන්ට වෙනවා දකින්න. මීට කලින් 2013 අවුරුද්දෙ මම විශ්‍රාම පාරිතෝෂිතය සල්ලි ටිකක් බෑග් එකේ දාගෙන උදේ කෝච්චියෙ නැඟලා පොල්ගහවෙලින් බැස්සා. බැහැලා අනුරාධපුරේට ගියා. කෙළින්ම ගියේ අනුරාධපුර ඉස්පිරිතාලෙ වකුගඩු රෝග සායනයට. වකුගඩු ලෙඩ්ඩු සීයකට රුපියල් දාහ ගාණෙ දීලා ඊළඟ බස් එකේ බදුල්ලට ආවා. 2016 අවුරුද්දෙත් මං ඒ පින්කමම කළා." අශෝකා අම්මාගේ ඇස් දෙක දිලිසෙයි. දැන් ඇය රණවිරු සෙවණේය.

"මේ දරුවො නෙවෙන්න අපිට මෙහෙම බයක් නැතිව පාරෙ බැහැලා යන්න බෑ මයෙ පුතේ. මේ ළමයින්ට කෑම වේලක් දීලා අපිට අපේ හිත් හදාගන්න බෑ. ඒත් අපි වගේ මිනිස්සුන්ට මීට වඩා දෙයක් කරන්න බෑ. මේ දරුවො වෙනුවෙන් මේ රටේ ලොකු ලොක්කො මීට වැඩිය කල්පනා කරන්න ඕන. අඩුම ගාණේ ඒ ඇත්තන්ට කුළල්කාගෙන දේශපාලනය කරන්න හරි මේ රට ඉතිරි වුණේ මේ දරුවො හින්දා. අද නැඟිටගන්න බැරිව ඉන්න, ඇස් පේන්නෙ නැතිව ඉන්න, කන් ඇහෙන්නෙ නැතිව ඉන්න, අත්පය අහිමිවෙලා ඉන්න තරුණ ළමයින්ව මානසිකව සතුටු කරන්න අවශ්‍ය තවත් වැඩදායී සැලසුමක් තියනවා නම් මං වගේ මිනිස්සු ඕන තරම් ඒ වැඩේ එක්ක එකතුවේවි."

ඇය කියන්නීය. මේ වගේ අම්මලා මේ රටේ දුලබ නැත. තිරශ්චීන දේශපාලන ගොදුරක් වූ නාවික නිලධාරියකුගේ පුංචි දියණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් බව ඇසූ මේ අම්මා ඇයගේ කනේ තිබුණු කරාබු කුට්ටම කිසිදා දැක නොතිබුණු ඒ දියණියට තෑගි කර යවා තිබිණි. ඒ "ඉගෙනගෙන ඉවර වෙනකම් මාසෙ ගාණෙදරුවට මුදලක් එවන්නම්..." කියන පණිවුඩයත් සමඟය.

"මට ලොකු අපේක්ෂා නෑ මයෙ පුතේ. ජීවිතේට ලැබුණු ලොකුම තෑග්ග තමයි වඩමාරච්චි සටන දවස්වල කොබ්බෑකඩුව මහත්තයට මං යවපු කවි ටිකකට එතුමා යුද්ධ භූමියේ ඉඳන් මට එවපු ස්තුති ලියුම. ලොකුම බලාපොරොත්තුව යුද්දෙ දිනපු ත්‍රිවිධ හමුදාපතිවරු ඇස් දෙකෙන් දැකලා කතා කරන එක. සරත් ෆොන්සේකා මහත්තයා බදුල්ලට ආපු වෙලාවෙ හම්බවුණා. ඒ මහත්තයට මටත් වඩා වයස, ඒ කියන්නෙ අවුරුදු අසූවක විතර අම්මා කෙනෙක් දණ ගහලා වැන්දා එදා. වසන්ත කරන්නාගොඩ මහත්තයවත් මට මුණගැහුණා. එතුමත් එක්ක කතා කළා. ගුවන් හමුදාපතිතුමා විතරයි මුණගැහුණෙ නැත්තෙ." මේ සමහර මිනිසුන් ලෝකයෙන් වැඳුම් ලබන්නට සුදුසුව සිටි ස්වකීය ගෞරවය ව්‍යසනයට ලක් කරගෙන ඇති ආකාරය පුදුමය. මේ ක්‍රමය තුළ එක මොහොතක වීරයා ඊළඟ තත්පරයේ ජෝකර්ය.

අශෝකා අම්මා කතා කරමින්ම රණවිරු සෙවණ කඳුගැටය බසිමින් සිටියාය. මාත් අෑ සමඟ ගමන් කරමි. රටක සමාජ සංස්කෘතික ප්‍රවාහය යුගයෙන් යුගයට ගලාගෙන යන්නේ මෙවැනි මිනිසුන්ගේ අව්‍යාජ මානුෂික හැඟීම් හරහාය. එහෙත් ඒ හැඟීම් දේශපාලනිකව අවභාවිත කර ජාත්‍යාලය, රණවිරුකම, ආශ්චර්යය, යහපාලනය ඇතුළු උත්තුංග සමාජ සංකල්ප සමුදායම කොමිටල් කළ රටක ජීවත් වෙමින් එහි මහා ව්‍යසනය අත්විඳිමින් සිටින අපට අශෝකා අම්මලාගේ හැඟීම් උඩුසුළඟට පාවී යන පරඬැල්ය.
ඇය ගමන නවතා ආපසු හැරී මා දෙස බැලුවාය.

"යන්නම් මයෙ පුතේ. දවල් වෙන්න කලින් කේටරින් එකට සල්ලි බැඳලා මෙහාට කියන්න බැරි වුණොත් මට කෑම වේල දෙන්න බැරිව යනවා."
"අම්මා අදම බදුල්ලෙ යනවද?" මම විමසමි.

" වෙලා තියනවනෙ මයේ පුතේ. අද නයිට් මේල් නඟිනවා. හෙට උදේ ගෙදර..." සිනාසෙමින් මගෙන් සමුගත් අශෝකා අම්මා නොපෙනී යන තුරු බලාගෙන සිටියෙමි.

ජානක ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon