ගමටම කැවිලි හදපු ජයටම රබන් ගහපු 80 වියැති “රබන් රැජින” ඇලිස්

  👤  3583 readers have read this article !
By mawbima 2018-04-15

බෙලිඅත්ත දම්මුල්ලේදී 1938.08.08 දින මෙලොව එළිය දකින ඇලිස් නෝනා මහත්මිය කැවුම්, කොකිස් හා අනෙකුත් කැවිලි වර්ග හදන්න වගේම රබන් ගසන්නද හොඳ හපනියකි. අදටත් තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගන්නා ඇලිස් නෝනා මහත්මිය මූලික අධ්‍යාපනය ලැබුවේ පල්ලත්තර මහා විද්‍යාලයෙනි. එවකට හය වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ ඇය පසුව පාසල් ගමන නතර කර දමා විවාහයෙන් පසු පදිංචිය සඳහා තිස්සමහාරාමයේ දෙබරවැව ග්‍රාමයට පැමිණ තිබේ.

උණක් හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් පෙත්තක් ගෙන නැති දරුවන් හය දෙනකුගේ මවක වන හේවා කැකණදුරගේ ඇලිස් නොනා මහත්මිය පසුගිය දින ජීවන ගමනේ 80 වැනි වසර පසු කළාය. අදටත් ඉතා නිරෝගීමත් කාන්තාවක් වන ඇය තමන්ගේ කටයුතු වගේම අන් අයගේ කටයුතුවලටද හරි හරියට උදවු කරන්නේ තරුණ වියේ පසුවන්නියක මෙනි.

ඇය තම අතීත කතාව අපට විස්තර කළේ මෙසේය.

අපි ඒ කාලේ මේ පළාත්වලට එන කොට මේවා මහා ඝන කැලෑ. අද කාලේ වාගේ ඉස්සර මේවා දියුණු නෑ. මට පුතාල 4යි දුවලා 2යි ඉන්නේ. අපි ඒ කාලේ මේ ළමයි නඩත්තු කළේ කුලී වැඩ කරලා. හේන් ගොවිතැන් කරලා. අපිත් ඒ කාලේ පිරිමිත් එක්ක කරට කර වැඩ කළා. මීට අමතරව මං ගමේ ගොඩේ තියෙන දානේ ගෙවල්, මඟුල් ගෙවල්වලත් උත්සවවලත් කෑම උයන්න ගියා. 1960 ඉඳලා තිස්සමහාරාම රජමහ විහාරයේ පොසොන් පින්කම වෙනුවෙන් කෑම පිසීම මං දැඩි භක්තියකින් කරපු එකක්. ඒ කටයුත්තට මම කිසිම මුදලක් අය කළේ නෑ. කාලයක් යනකොට ගමේ ගොඩේ හැම තැනකම කැවිලි වර්ග හදන්න යන එක මගේ රැකියාව වුණා. ඒ කාලේ මට හොඳට වැඩ තිබුණා. මං කිසිම දෙයකට මිලක් තීරණය කළේ නෑ, වැඩේ ඉවර වුණාම වැඩේ හොඳ නම් සතුටු ගාණක් දෙන්න කියලා තමයි මම කිව්වේ. ඉතින් ඒ කාලේ හැටියට මට හොඳ මුදලක් ලැබුණා. මගේ සැමියත් කළේ ගොවිතැන් වැඩ. සැමියාට අමතරව මටත් මුදලක් උපයා ගන්න පුළුවන් වුණ නිසා ඒක අපේ ආර්ථිකයට ලොකු පිටිවහලක් වුණා.

කැවිලි වර්ග හදනවා ඇරෙන්න මට ඒ කාලේ හොඳට රබන් ගහන්නත් පුළුවන්කම තිබුණා. ඉතින් අවුරුදු කාලේ එනකොට මට විවේකයක් ඇත්තෙම නෑ. මං ගමේ අවුරුදු උත්සවවල රබන් ගහලා පළමුවැනියා වෙලා තියෙනවා විතරක් නෙමෙයි තෑගි බෝගත් ලබලා තියෙනවා. මට හොඳට රබන් ගහන්න පුළුවන් නිසා ගමේ ගොඩේ අය මා ගැන හොඳට දැනන් හිටියා. රබන් අක්කා කියලත් සමහරු මට කිව්වා. ගමේ මඟුල් ගෙයක් වෙනකොට මං රබානත් අරගෙන අනිවාර්යයෙන්ම ඒවට යනවා. ගමේ කෙල්ලෝ කොල්ලෝ ටික වටකරගෙන ඉතින් අපි රබන් ගහනවා.

ඉස්සර නම් රබන් ගහන අයට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණා. මොන උත්සවයක් තිබුණත් කැවිලි පෙවිලි හදනවා වගේම රබනුත් ගැහුවා. ඉස්සර ඉතින් හොඳට රබන් ගහන කෙනෙක් කියලා කියන්නේ විශේෂ චරිතයක්. ඉතින් ගමේ මටත් ලොකු අභිමානයක් තිබුණා රබන් ගහන්න පුළුවන් නිසා. නමුත් අද වෙනකොට රබන් ගහන එක නැතිවේගෙන යනවා. අද කාලේ ඉන්න ළමයි මේවට නැඹුරු වෙන්නේ නෑ. රබන් ගහන්න එන්නේත් නෑ. අද ඉන්න ළමයි රබන් ගහන්න දන්නෙත් නෑ. අපි ඒ කාලේ අපි රබන් ගහන්න ඉගෙන ගත්තේ අපේ අම්මගෙන් හා ගමේ හිටිය වැඩිහිටි අයගෙන්. ඉස්සර අපි පොඩි කාලේ අපේ අම්මලා උත්සවවලට ගිහින් රබන් ගහනවා දැක්කා. නමුත් අද මේ ඉන්න අලුත් පරපුරේ ළමයි කරන කියන දේවල් දැක්කම අපිට ඔළුව රිදෙනවා. මොනවද දැන් ඉන්න ළමයි මේ කරන්නේ කියලා හිතෙනවා. අපි අපේ කාලේ අලුත් අවුරුද්දට හොඳට විනෝද වුණා. අවුරුදු උත්සව තියලා රබන් ගහලා ඔන්චිල්ලා පැදලා ගොඩක් සතුටු වුණා. නමුත් අද තියෙන්නේ අලුත් සංස්කෘතියක්. අද ඉන්න ළමයින්ට රබන් ගහන්න තියා අවුරුදු උත්සවයකටවත් යන්න වෙලාවක් නෑ. ඒ තරමටම ළමයි ටියුෂන් පන්ති එක්ක අවිවේකී වෙලා ඉන්නෙ. ඉස්සර වගේ නෙවෙයි අද ඉන්න පිරිස් යන්නේ වැඩ කරන්නේ තරගකාරී පැත්තත් එක්කයි. අම්මලා බලන්නෙත් තමන්ගේ දරුවා කොහොම හරි කටපාඩම් කරවලා හරි කමක් නෑ විභාග පාස් කරවන්න විතරයි. යන්ත්‍ර සූත්‍ර වගේ ළමයි තමයි අද ඉන්නේ. ඉස්සර අපි අවුරුදු කාලේ එනකොට සතියක් විතර තිස්සේ ඉඳන් විනෝද වෙනවා. මුළු ගමම අවුරුදු සිරියෙන් බැබළෙනවා. ඒ කාලේ අපි ඔක්කොම එකතුවෙලා අවුරුදු උත්සව තියලා රබන් ගහලා ඔන්චිලි පැදලා එක එක සෙල්ලම් කරලා විනෝද වෙනවා.

අදත් අවුරුදු තියෙනවා තමයි. හැබැයි ඒ කාලේ වගේ අද අවුරුදු සමරන අය අපිට දකින්න නෑ. අද තියෙන අවුරුදු උත්සවවල මොනවා හරි තරග ටිකක් තියෙනවා. තෑගි දෙනවා. වැඩේ ඉවරයි. හැබැයි අවුරුදු සිරිය අද කාලේ අයට විඳින්න ලැබෙනවා අපිට නම් දකින්නත් නෑ. ඒ කාලේ රබන් ගහපු මම අද ඒක කරන්නේ නෑ. ඉස්සර වගේ අද කවුරුවත් රබන් ගහන්න අපිට කතා කරන්නේ නෑ. තියෙන අවුරුදු උත්සවවලත් කන් අඩි පැළෙන්න ස්පීකර් දමාගෙන විවිධ සින්දු දමනවා. ඉඳලා හිටලා සමහර අවුරුදු උත්සවවලට "රබන් ගහන්න යමු" කියලා මාව එක්කරගෙන යනවා. නමුත් ඒ ගියාමත් අපිව කොහේ හරි මුල්ලකින් තියලා රබන් ගහන්න කියලා කන් අඩි පැළෙනකම් සින්දු දමාගෙන අනිත් පැත්තේ අවුරුදු උත්සවයේ වැඩ. ඉතින් ඒ කාලේ වගේ අද අපිට වටිනාකමක් නෑ. අද වෙනකොට මං ඒ නිසාම රබන් ගහන්න යන්නේ නෑ. 2017 වසරේ තිස්සමහාරාමයේ පැවැති අවුරුදු උත්සවයක කැවුම් හැදීමේ තරගයකුත් තිබුණා. මාත් ඒ තරගයට ගියා. ඒ ගිහින් විනාඩි පහළොවකදී කොණ්ඩ කැවුම් 13ක් හදලා ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. ඒ වගේම තවත් තරගයකදී නිරෝගිමත්ම ආච්චි සෙවීමේ තරගයෙනුත් මං ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා. ඒ විතරක් නෙමෙයි අදටත් තිස්සමහාරාමයේ ඉන්න පැරැණි අය මාව සලකන්නේ 'රබන් රැජන' කියලයි.

අද මං ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න ඕනේ නිසා දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින්ගේ පන්ති කාමර පිරිසුදු කරන්න යනවා. මං මේ වැඩේ පටන් ගත්තේ 2000 වසරේ ඉඳන්. දැන් මේ 18 වැනි අවුරුද්ද. මේ ඉස්කෝලේ වැඩට එන මං පන්ති කාමර පිරිසුදු කරනවට මසකට රුපියල් 8000ක් පාසලෙන් දෙනවා. මං දැන් ඉතින් මේ වැඩේ කරගෙන ලැබෙන මුදලින් කොහොම හරි ජීවත් වෙනවා. වෙන මොනවා කරන්නද? එදත් අදත් බලන විට කාලය පුදුම තරම් වෙනසකට ලක්වෙලා තියෙනවා.

අපි ඒ කාලේ කෑවේ කොස්, දෙල්, අල, බතල, මඤ්‍ෙඤාක්කා වගේ වස විස නැති දේශීය ආහාර. අදටත් මම පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නෑ. උණක්, හෙම්බිරිස්සාවක් හැදුණාම කටුවැල් බටු ටිකක් වගේ දේශීය දෙයක් තමයි අදටත් මං බොන්නේ. දෙයියනේ කියලා අදටත් මට කිසිදු ලෙඩක් දුකක් නම් නෑ. තවත් මං මගේ වැඩ ටික තනියම කරගන්නවා. පත්තර බණ පොත් ආදිය අදටත් මං කියවන්නේ කණ්ණාඩි දෙකක්වත් දාන්නේ නැතුවයි. සාමාන්‍යයෙන් අවුරුදු 50 වෙනකොට ගොඩක් අය විවිධ ලෙඩ දුක්වලට ගොදුරුවෙලා එක්තැන් වෙනවා. අනික තමයි අද ගොඩක් අය කන්නේ බොන්නේ වස විස සහිත කෑම වර්ගයි.

ක්ෂණික කෑම වර්ගයි. ඒ නිසාම දැන් ඉන්න අයට හැදෙන ලෙඩත් වැඩියි. මං ඉහළ පෙළේ මහත්වරුන්ගෙනුත් පොඩි ඉල්ලීමක් කරන්න කැමැතියි. ඒ තමයි මේ අද කාලේ ඉන්න ළමයින්ට පත පොතේ දැනුම වගේම සංස්කෘතිය ගැන,

අපේකම ගැනත් කියල දෙන්න
වැඩපිළිවෙළක් හදන්න ඕනේ. මං පාසලක තාම වැඩට යන නිසා දකිනවා දරුවෝ මේ කොහේද යන්නේ කියලා. මේ දරුවන්ට පත පොතේ දැනුම තියෙනවා. හැබැයි බොහෝ දරුවන්ට ප්‍රායෝගික දැනුම නෑ. මේ දරුවෝ හරියට යන්ත්‍ර සූත්‍ර වාගේ තමයි හැදිලා තියෙන්නේ. මේක අපේ රටේ ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් අනාගතයේදී. මම මේ කියන කතාව ඇහුවම සමහර අයෙක් මට හිනාවේවි. ගමේ ඉන්න ඇලිස් නෝනට පිස්සු කියලා. නමුත් මහත්තයෝ ඇත්ත කතාව තමයි මම මේ කිව්වේ.

තිස්සමහාරාමයේ රබන් රැජන ලෙස විරුදාවලිය ලත් ඇලිස් නෝනා මහත්මිය සිය ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් පසු 123/1, මහින්දපුර, ගල් අමුණ, වීරවිල පදිංචි සිය බාලපුතුගේ නිවෙසේ පදිංවිව සිටී. ඇය දැනට සිටින බාල පුතුගේ නිවෙසද ගරා වැටුණු එකකි. මේ වනවිට ඇය විවිධ අයගේ ආධාර උපකාර ඇතිව සිය පදිංචි නිවෙස හදා ගැනීමේ කටයුතු අරඹා තිබේ. එකල ඇලිස් නෝනා මහත්මියගේ අතින් වැයුණු රබන් සුරල් හඬ පරදන්නට අදටත් කිසිවකුත් බිහිව නොමැති බව පැරැණියෝ පවසති. අදටත් ඉතා කඩිසර කාන්තාවක් වන ඇලිස් නෝනා මහත්මිය අදටද පාරේ තොටේ යන විට තරුණ කොලු ගැටයන් වරදක් කරනු දුටු විට එම අවස්ථාවේදීම එයට අවවාද දීමට කටයුතු කරයි. සිය ජීවිතයේ සැ¼දෑ සමය ගත කරන ඇලිස් නෝනා මහත්මිය සමාජයට ඉතා පූර්වාදර්ශී චරිතයක් බව නම් නොකියාම බැරිය. ඇයට අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

සටහන හා සේයාරූ :

මත්තල - ඩී. එන්. ජයසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon