අහෝසි වූ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට වහාම පාර්ලිමේන්තු අනුමැතියක් ගත යුතුයි

  👤  3638 readers have read this article !
By mawbima 2018-04-15

ඩබ්ලිව් කේ. ප්‍රසාද් මංජු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනකු ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟම ජාතික ආණ්ඩුව අහෝසි වී තිබෙන නිසා මෙම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා වහාම පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලබාගත යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංක නිදහස් පක්‍ෂය අතර අස්සන් කරන ලද ජතික ආණ්ඩු ගිවිසුම පසුගිය වසරේ අගෝස්තු 22 වැනිදා වසර දෙකක කාලයකින් පසුව අවසන් වූ බවත් ඉන් පසුව ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා මේ දක්වා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා නොගැනීම ඉතා බරපතළ නීති විරෝධී තත්ත්වයක් බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ලද මැති ඇමැතිවරුන් ඇතුළු 16 දෙනකු ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඉතා බරපතළ නීති විරෝධී තත්ත්වයක් ඇතිවී තිබෙන බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

හිටපු නියෝජ්‍ය කතානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනකු දැඩිව මෙම ජාතික ආණ්ඩුවට විරෝධය පළ කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව ඒ වගේම පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ජාතික ආණ්ඩුවක් කිසිසේත්ම පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අනුමැතිය ලබා නොගැනීම නීති විරෝධී බවත් මෙවර අනුමැතිය පාර්ලිමේන්තුවේ ලබා ගන්නවා නම් එය නියම ක්‍රමවේදයට ලබාගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙම නීති විරෝධී ජාතික ආණ්ඩුව ගන්නා ලද තීරණය ඕනෑම වේලාවක අධිකරණයේදී අභියෝගයට ලක්කළ හැකි බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon