එජාපය මීළඟ ජනපතිවරණයේදීත් පොදු අපේක්‍ෂකයකු ‘හයර්’ කරාවි

  👤  3690 readers have read this article !
By mawbima 2018-04-15

ජේ. ටී. ද සිල්වා

එක්සත් ජාතික පක්ෂයේ නායකයා අවස්ථා දෙකකදී ජනාධිපති අපේක්‍ෂකයන් 'හයර්' කළ ආකාරයට මීළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකු මුවාවෙන් අපේක්‍ෂකයකු 'හයර්' කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් පෙන්වා දෙති.

මේ සඳහා පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ගේ නම් ඉදිරිපත්වී ඇතැයි 'සිරිකොත' ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය අතනොහැර තවදුරටත් නායකත්වයේ රැඳී සිටිමින් ඒ මඟින් අගමැති තනතුර රැකගැනීම එ.ජා.ප නායකයාගේ අපේක්‍ෂාව වී ඇතැයි පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් 'මව්බිම'ට පැවැසූහ.

රටේ ජනාධිපති තනතුර එක්සත් ජාතික පක්ෂයට හිමිකර නොගෙන, එම අවස්ථාවට පිටස්තර පුද්ගලයන් 'හයර්' කිරීමට නායකත්වය ගෙනයන මෙම වැඩපිළිවෙළ නිසා පාක්‍ෂිකයන් විශාල පිරිසක් දැනටමත් පක්ෂයෙන් අෑත්වී සිටින බවත් එම පිරිස එන්ට එන්ටම වැඩිවීමේ ප්‍රවණතාවක් ගම් මට්ටමෙන් කළ සමීක්‍ෂණයකදී වාර්තාවී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

අගමැති රනිල් වික්‍රමසිංහ එ. ජා. පක්ෂයේ නායකත්වයේ සිටිනතාක් කල් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයකු පත්කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවත්, එ.ජා.ප. නායකත්වයෙන් අගමැතිවරයා වහාම ඉවත් විය යුතු බවට බලපෑම් කරන බවත් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු පවසති.

මීළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් ජනප්‍රිය ක්‍රීඩකයකු "හයර්" කළත් පුදුම විය යුතු නැතැයි ද එම මන්ත්‍රි කණ්ඩායම සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon