සචිත්‍ර හා මෙන්ඩිස් පිත්තෙන් දස්කම් දැක්වුවත් තරග දෙකම ජය පැරදුමෙන් තොරව අවසන්

  👤  2277 readers have read this article !
By mawbima 2018-04-13

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සිව්දින සුපිරි ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගයත් මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරගයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ගොස් ලකුණු 270ක් වාර්තා කළ අතර එහිදී ප්‍රියමාල් පෙරේරා ලකුණු 73ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් බිඳහෙළීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම කඩුලු 9ක් දැවීගොස් ලකුණු 138ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වූවේය.

කෙසේ වෙතත් තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 3ක් දැවී ගොස් ලකුණු 65ක් ලබා සිටියේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 244කට දැවී ගියේය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමට සියලු දෙනා දැවීගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 255ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ළහිරු ගමගේ ලකුණු 78කට කඩුලු 5ක් දවා ගත්තේය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම කඩුලු 7කට ලකුණු 325ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීය. එහිදී සචිත්‍ර සේරසිංහ ලකුණු 112ක් ද, අශාන් ප්‍රියංජන් ලකුණු 95ක් ද ලබා ගත්තේය. සිව් වැනි දිනයේ තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 2ක් දැවී ගොස් ලකුණු 66ක් ලබා සිටියේය.

ඡායාරූපය _ නුවන් අමරවංශ

ලකුණු සාරාංශය
මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරගය
මහනුවර පළමු ඉනිම _ 270 (ප්‍රියමාල් පෙරේරා 79, චරිත් අසලංක 57, වනිඳු හසරංග 40/4)
කොළඹ පළමු ඉනිම _ 138/9 (කෞෂාල් සිල්වා 26, ශෙහාන් ජයසූරිය 25, ඉසුරු උදාන 35/4)
මහනුවර දෙවැනි ඉනිම _ 63/3 (මහේල උඩවත්ත 41, ශෙහාන් ජයසූරිය 1/1)
දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගය
දඹුල්ල පළමු ඉනිම _ 244 (කුසල් මෙන්ඩිස් 89, ළහිරු මධුසංක 26, චතුරංග ද සිල්වා 31/3)
ගාල්ල පළමු ඉනිම _ 255 (චතුරංග ද සිල්වා 54, රොෂේන් සිල්වා 44, ළහිරු ගමගේ 87/5)
දඹුල්ල දෙවැනි ඉනිම _ 325/7 (සචිත්‍ර සේරසිංහ 112, අශාන් ප්‍රියංජන් 95, නිසල තාරක 65/5)
ගාල්ල දෙවැනි ඉනිම _ 66/2 (ළහිරු මිලන්ත 25, මාධව වර්ණපුර 21, ළහිරු මධුසංක 13/2)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon