එතකොටම දුව සැඩ පහරට අහුවෙලා තාත්තේ මාව බේරගන්න කියලා අත්දෙක උස්සගෙන කෑ ගැසුවා

  👤  3556 readers have read this article !
By mawbima 2018-04-19

සීතාවක - අරන්දර දිසානායක

අපි මේ ගමන පිටත් වෙන දවසේ උදේ බිරිය කිව්වා 'ඊයේ රෑ මම වතුරේ ගහගෙන යන දරුණු හීනයක් දැක්කා. ඒ නිසා අපි වෙන දවසක මේ ගමන යමු කියලා.' එතකොට මියගිය දුව කිව්වා 'අම්මට පිස්සුද මම ෂූටින් යනකොට ලංකාවේ හැම තැනම නාන්න ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අම්මා බය නැතිව ඉන්න' කියලා දුව පැවැසූ බව කැලණි ගඟේ කිතුල්ගල, යටිබේරිය ප්‍රදේශයේදී පෙරේදා (17දා) දියේ ගිලී මියගිය ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිලිපිනියක වූ තුෂානි සිල්වා මහත්මියගේ පියා වන ලෙස්ලි සිල්වා මහතා පැවැසුවේය.

ඒ මහතා එසේ කීවේ මියගිය තුෂානි සිල්වා මහත්මියගේ මරණය පිළිබඳව අප සමඟ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ
ඒ මහතා:
අපි මෙම ගමන පිටත් වුණු වෙලාවේ ඉඳලා බාධා ඇති වුණා. අපි 16 වැනිදා තමා නුවරින් කිතුල්ගල එන්න පිටත් වුණේ. ඒ ඇවිල්ලා කිතුල්ගල ප්‍රදේශයේ හෝටලයක නතර වෙලා ඊයේ (17දා) තමා බෝට්ටු පදින්න ගියේ. මමයි බිරියයි බෝට්ටු පදින්න ගියේ නැහැ. දුවලා දෙන්නා ඇතුළු තවත් කීපදෙනෙක් ගියා.

එහෙම ගිහිල්ලා අපි නතර වෙලා ඉන්න හෝටලයට මේ අය බෝට්ටු පැදලා ආවා. ඉන් පසු අපි ගෙනාපු බඩු ටිකත් වාහනයට පටවලා හෝටලයේ බිලත් ගෙවලා එන්න පිටත් වෙන්න හැදුවාම මියගිය දුව කිව්වා මට තව පොඩ්ඩක් ඇඟ සෝදාගෙන එන්න ඕනේ කියලා මමයි, ලොකු දුවයි ගඟ පැත්තට ගියා.

ගඟට බැස්සම මම කිව්වා අෑතට යන්න එපා කියලා. එහෙම කියන කොටම දුව සැඩ පහරට අහුවුණා. තාත්තේ මාව බේරගන්න කියලා දුව අත්දෙක උස්සාගෙන කෑගැහුවා. මමත් පනින්න හැදුවා. ළඟ හිටපු අය මාව අල්ල ගත්තා. එතකොට හෝටලයේ කෙනෙක් ආවා. එයාට ජීවිත ආරක්‍ෂක කට්ටලය නෑ කියලා පනින්න බැහැ කිව්වා. ඒත් එක්කම දුව වතුරේ ගිලිලා ගියා.

ඊට පස්සේ බෝට්ටු පදින අය එකතු වෙලා හොයන කොට විනාඩි පහළොවක් විතර ගියාම ගඟට බැස්ස තැන ඉඳලා ටික දුරකින් දුවව ගොඩ ගත්තා. පස්සේ අපි කිතුල්ගල, තැලිගම රෝහලට දුව ගේනකොටම මිය ගිහිල්ලා. මගේ දරුවා මට නැති වුණා. දුව විවාහ වෙලා ඉන්නේ. එයාගේ මහත්තයා විදේශගත වෙලයි ඉන්නේ. දුවට දරුවෙක් ඉන්නවා.

මියගිය රංගන ශිල්පිනිය මොනර කිරිල්ලී, හඳයා, ලොක්කි, කතා කරන අලි පැටියා, සුමී වැනි ටෙලි නාට්‍ය හා චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇත. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හා මරණ පරීක්‍ෂණය කරවනැල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

සිද්ධිය පිළිබඳ ගිනිගත්හේන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon