කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත මළ සිරුර යොමු කරන ලෙස පොලිසියට නියෝග

  👤  3383 readers have read this article !
By mawbima 2018-04-19

මිනුවන්ගොඩ - අතුකෝරල, කටුනායක - ගයා තිරිමාදුර

සවුදි රටේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය කටුනායක ගුවන්තොටුපොළ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයේදී පවත්වමින් මළ සිරුර නිරීක්‍ෂණය කළ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය එම සිරුර කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසට ගුවන්තොටුපොළ පොලිසියට නියම කළාය.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එම මරණයට හේතුව අප්‍රේල් 24 වැනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත වැඩිදුරටත් නියම කළාය.

ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 37 හැවිරිදි තිදරු මවක් වූ ප්‍රියන්තා ජයසේකර යන අය ඉකුත් වසරේ ගෘහ සේවිකාවක් ලෙස සවුදියට ගොස් සිටියදී රැකියාව කළ නිවෙසේ සිටි අයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉකුත් මාර්තු මස 10 වැනිදා ඝාතනයට ලක්ව තිබිණි.

මියගිය කාන්තාවගේ මළ සිරුර සවුදියේ සිට 17 වැනිදා ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට රැගෙන විත් තිබූ අතර ගුවන්තොටුපොළ පොලිසිය බී වාර්තාවක් මඟින් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon