ඉෂාරා වැවේ ගිළුණු අවස්ථාවේ දර්ශනී ඇය බේරාගන්න දියට පැන්නා; ඇයත් ගිළුණා. එවිට ඔෂිනි අක්කත් වැවට පැන්නා; ඇයත් ගිළුණා

  👤  3610 readers have read this article !
By mawbima 2018-04-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

වැවේ දිය මංකඩේ මීටර් සියයක් විතර අෑතින් නාමින් සිටියදී මගේ නංගි ඉෂාරා ඊශානි ගිලුණා. ඒ අවස්ථාවේ දර්ශනී අක්කා දියට පැන ඇය බේරා ගැනීමට ගියා. ඒ අවස්ථාවේ ඇයත් දියේ ගිලුණු බව පෙනුණා. එවිට ඔෂිනි අක්කත් දියට පැන්නා. ඇයත් දියේ ගිලුණා. අති දක්ෂ මැරතන් ක්‍රීඩිකාවකගේ හා ඇගේ ඥාති සොයුරාගේ මරණ පරීක්ෂණයේදී ආලෝක දිමුතු දිල්ෂාන් (16) සිසුවා සාක්ෂි දෙමින් එසේ පැවැසුවේය.

ගලෙන්බිඳුණුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය ගැටලාව කොකාවැව තිත්තැල්ල පදිංචිව සිටි අත්තනගොඩ කංකානම්ලාගේ ඔෂිනි ශාලිකා (17) ඇගේ ඥාති සොයුරකු වූ පිළිමතලාව කිරිවවුල පදිංචිව සිටි ඉන්ද්‍රජිත් ප්‍රභාත් (27) යන අයවලුන්ගේ හදිසි මරණ පරීක්ෂණ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පෙරේදා (17දා) පැවැත්විණි.

දියේ ගිලීමෙන් මරණයට පත්වූ ඔෂිනි ශාලිකා (17) කොකාවැව පළුගොල්ලාගම විද්‍යාලයේ ශිෂ්‍යාවකි. ඇය පසුගිය 2017 වසරේ දෙසැම්බර් මස පැවැති අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර 2017 වසරේ උතුරු මැද හා නැඟෙනහිර අන්තර් පළාත් මිනි මැරතන් තරගයේ මීටර් 5000 තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා රන් පදක්කම හිමිකරගත් අති දක්ෂ ක්‍රීඩිකාවකි.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ආලෝක දිමුතු දිල්ෂාන් (16) සිසුවා මෙසේද කීය. මියගිය ඔෂිනි ශාලිකා මගේ අක්කා. ඇයත් මම හා පවුලේ අනෙක් අයත් සමඟ පස්වරු එකට පමණ දිය නෑම සඳහා කිවුලේකඩ වැවට ගියා. අපි වැවේ මංකඩකින් දිය නාමින් විනෝද වුණා.

මගේ නංගී ඉෂාරා ඊශානි වැවේ දිය මංකඩේ මීටර් සියයක් විතර අෑතින් නාමින් සිටියදී ගිලුණා. ඒ අවස්ථාවේ දර්ශනී අක්කා දියට පැන ඇය බේරා ගැනීමට ගියා. ඒ අවස්ථාවේ ඇයත් දියේ ගිලුණු බව පෙනුණා. ඒ අවස්ථාවේ ඔෂිනි අක්කත් දියට පැන්නා. ඇයත් දියේ ගිලුණා. මේ අවස්ථාවේ මම ඒ අයව බේරා ගන්න දියඹට පීනා ගියා.
ඒ සමඟම මගේ නංගි ඉෂාරා ඊශානි වැවේ තිබූ ලොකු ගලක් උඩ නැඟ බේරී සිටියා. මම ගොඩට පීනාගෙන ඇවිත් දිග ලී දණ්ඩක් ගෙන ආපසු ගොස් ලොකු අක්කා නිදර්ශනීව ලී දණ්ඩ මඟින් ගොඩට ගත්තා. මේ අවස්ථාවේ නිදර්ශනී අක්කා බේරා ගැනීමට ඉන්ද්‍රජිත් අයියා දියඹට පිහිනා ගියා. නමුත් ඔහු දියඹේ නොපෙනී ගියා. ඒ අවස්ථාවේ ඔරුවකින් මාළු බාමින් සිටි ප්‍රියන්ත යන අය ඇවිත් නංගීව ගොඩට ගෙනාවා.

පසුව ප්‍රියන්ත යන අය හා අසල්වාසීන් එකතු වී දියේ ගිලී සිට ඔෂිනි අක්කා හා ඉන්ද්‍රජිත් අයියා ගොඩට ගෙනාවා. මේ දෙන්නම සිහිසුන්ව සිටියේ. පිරිස එකතු වී අක්කා හා අයියා යතුරුපැදිවලින් ගලෙන්බිඳුණුවැව රෝහලට ගෙනාවා.

මියගිය දැරියගේ පියා වූ ඒ.කේ. ජානක සුසන්ත කුමාර (45) මහතා හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ පැවැසුවේය.

මියගිය දුවගේ වයස අවුරුදු 17යි. මගේ ලොකු දුව නිදර්ශනී. එයා විවාහ වෙලා ඉන්නේ පිළිමතලාවේ පදිංචි ඉන්ද්‍රජිත් සමඟයි. ඔවුන් දෙන්නම මෙවර අලුත් අවුරුද්දට අපේ නිවෙසට ඇවිල්ලා හිටියේ. සියලුම දෙනා 16 වැනිදා සවස 1.30ට පමණ දිය නෑමට කිවුලේකඩ වැවට ගියා. මගේ නිවෙසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් කිවුලේකඩ වැව තියෙන්නේ. මමත් බිරියත් දිය නෑමට ගියේ නෑ.

වැවේ සෙනඟ දිය නාන මංකඩකින් දිය නාලා පරිස්සමින් නැවත නිවෙසට එන ලෙස මා ඔවුන්ට අවවාද කළා. දිය නෑමට ගිය කණ්ඩායමේ මාගේ දියණියන් තිදෙනා වන නිදර්ශනී, ඔෂිනි, ඉෂාරා හා පුතා ආලෝකත්, බෑනා ඉන්ද්‍රජිත් සමඟ කැලුම් පුෂ්පකුමාර යන අයත් හිටියා.

සවස 3.30ට පමණ කැලුම් පුතා නිවෙසට ඇවිත් කිව්වා මගේ ලොකු දුවගේ සැමියා ඉන්ද්‍රජිත් හා බාල දියණිය ඔෂිනි නාන්න ගිය අවස්ථාවේ දියේ ගිලී ගිය බව. මම ඉක්මනින් යතුරුපැදියේ නැඟී වැවට ගියා. ඒ අතරතුර බාල දියණිය රෝහලට ගෙනියද්දී අතරමඟදී හමුවුණා. බෑනත් රෝහලට ගෙන එන බව දැනගත්තා.
ඔවුන් දෙදෙනාවම ගලෙන්බිඳුණුවැව රෝහලට රැගෙන ගියත් බෑනා පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු මියගොස් ඇති බව පැවැසුවා. දියණියට මූලික ප්‍රතිකාර දීලා අනුරාධපුර රෝහලට ගිලන් රථයකින් රැගෙන ගියත් ඇයත් මියගොස් ඇති බව වෛද්‍යවරුන්ගෙන් දැන ගත්තා.

මියගිය දැරියගේ මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි නාගරික මරණ පරීක්ෂක එච්.එම්. කුලසේකර මහතා පැවැත්වූ අතර මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූයේ ගලෙන්බිඳුණුවැව හදිසි මරණ පරීක්ෂක එම්. ධර්මසේන මහතාය. ගලෙන්බිඳුණුවැව පොලිසියේ සැරයන් කුලතිලක (56161) මහතා මරණ පරීක්ෂණ සාක්ෂි මෙහෙයවීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.එම්.එස්.එම්. කුමාර සේනානායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දියේ ගිලීමෙන් මරණ සිදු වී ඇති බව නිගමනය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon