ද්විපුද්ගල ඝාතනයකට සූදානම් වූ දෙදෙනෙක් බෙලිඅත්තේදී අත්අඩංගුවට

  👤  3412 readers have read this article !
By mawbima 2018-04-19

තංගල්ල - සහම්පති මානගේ

ද්විපුද්ගල ඝාතනයක් සඳහා සූදානම් වූ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (17දා) රාත්‍රි කඩු දෙකක්, යකඩ පට්ටමක් හා ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, බෙලිඅත්ත විස්කම්පුර හා ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝය. බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජු ලලිත් වික්‍රමසිංහ මහතාට ලද නිර්නාමික දුරකතන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ සැකකරුවන් සොයා පෙරේදා (17දා) රාත්‍රි 7.30ට පමණ පිටත්වී ඇත.

ඝාතනය සිදුකිරීමට සැලසුම් කළ නිවෙස අසල ත්‍රිරෝද රථයක් නවතා තිබී ඇති අතර පොලිස් ජීප් රථය දුටු සැණින් සැකකරුවන් හතරදෙනකු ත්‍රිරෝද රථයේ නැඟී පලා ගොස් තිබේ. එවිට පොලිස් ජීප් රථය ත්‍රිරෝද රථය ලුහුබැඳ යද්දී මාර්ගය අයිනේ තිබූ කානුවකට එම ත්‍රිරෝදය පෙරළී අනතුරට ලක්වී ඇත. සැකකරුවන් ත්‍රිරෝදයෙන් බැස දිව යද්දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ.

සැකකරු සමඟ ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ. ත්‍රිරෝදයේ ඉදිරිපස පාපිස්නා යට තිබී අඩි තුනහමාරක් පමණ දිගැති කඩුවක්, අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක් හා විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පලාගිය සැකකරුවන් පිළිබඳව තොරතුරු පවසා තිබේ. ඒ අනුව තවත් සැකකරුවකු බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේදී ඊයේ (18දා) උදෑසන 9.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ද්විපුද්ගල ඝාතනය සිදුකිරීමට සලසුම් කළ බවද එය සැලසුම් කළ ආකාරය පිළිබඳවද අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පලාගිය ප්‍රධාන සැකකරු හා අනෙක් සැකකරු සොයා තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් හා සහකාර පොලිස් අධිකාරි බී. එම්. එම්. දසනායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජු ලලිත් වික්‍රමසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නන්දසිරි ගමගේ, පොලිස් කොස්තාපල්වරුන් වන කීර්ති (26228), කුමාර (73342) හා රියැදුරු ලසන්ත (80471) නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon